Ads 468x60px

.

ගොබ්බයන්ගෙන් පිරි සමාජයක යුක්තිය දණගස්වා අයුක්තිය දෙපයින් සිට ගැනීම පුදුමයක්ද?


වයඹ පළාත් සභාවේ ඊනියා ජනතා නියෝජිතයකු ආණමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලට කඩාවැදී ගුරුවරියක දණගැස්සුවේ මීට අවුරුදු තුනකට පෙරය. පාසලේ ඉගෙනුම ලබන සිය දියණියගේ වරදකට පහරක් ගැසීම ගුරුවරිය මෙලෙස තාඩනයට, පීඩනයට, අපහාසයට හා නින්දාවට පත්කිරීම මීට හේතුව වී තිබිණි. 

ආණ්ඩු බලය හොබවන පාලක පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් දක්වා බොහෝදෙනකු සිතන්නේ
තමන්ගේ හිසට උඩින් කාක්කෙකුටවත් පියඹා යා නොහැකි බවය. 

80 දශකයේ මෙරට ස්ථාපිත වූ මජර දේශපාලනය "ගමට" රැගෙන යෑමේ නියමුවන් වූ මේ ඊනියා මහජන නියෝජිතයන්ට මිනිසුන් දණගැස්සවීමට පමණක් නොව අවශ්‍ය නම් මිනිසුන් අතුරුදන් කිරීමට වුවද "නිදහස" ගෙවුණු දශක කිහිපයේ තිබිණි. "ගුරුවරිය" දණගැස්සුවේද ඔවුන් මේ "නිදහස" උපරිමයෙන් භුක්ති විඳි පශ්චාත් යුද සමයේය.

ගුරුවරිය දණගස්වා, බැන තර්ජනය කර ගුරුවරුන් හා දරුවන් ඉදිරියේ ඇයට නිග්‍රහ කිරීම පිළිබඳව ශිෂ්ට සමාජයේ බරපතළ විරෝධය හා විවේචනය එල්ලවීම නිසා "චූදිතයා" අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවූ අතර ඉන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගතකෙරිණි. 


දැඩි කොන්දේසි මත චූදිතයාට මුදල් හා ශරීර ඇප මත නිදහස ලබාදුන් අතර, සෑම මාසයකම අවසන් සතියේ ඉරිදා පොලිසියේ පෙනීසිටීමට අධිකරණය නියෝග කළේය. 

ශ්‍රී ලනිපය නියෝජනය කළ මේ පුද්ගලයාට ඉකුත් වයඹ පළාත් සභා ඡන්දයට තරග කිරීමට නාමයෝජනා නොදී ඔහුගේ ඥාති පුත්‍රයකුට නාමයෝජනා ලබාදීමට පක්‍ෂයේ බලධාරීන් "නිහතමානී" වුවද ඔහුට අවශ්‍ය තරම් මනාප ලබානොදීමෙන් තමන් බූරුවන් නොවන බව පුත්තලම දිස්ත්‍රික්කයේ නිදහස් සන්ධාන ඡන්දදායකයෝ බහුතරය ඔප්පු කළහ.

එහෙත් 'පුත්තලම් බූරුවන්' සිහිකැඳවමින් ආණමඩුව නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ඉකුත්දා පැවැති වාර්ෂික ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයකු ලෙස ගුරුවරිය දණගැස්සූ පුද්ගලයා කැඳවීමට විදුහල්පති හා පාසල් සංවර්ධන සමිතියේ කටයුතු කර තිබිණි. 


එය ගුරු සංහතියම උපහාසයට ලක්කිරීමකි. මේ අමන පියවර සිසු පරපුරට වැරැදි පූර්වාදර්ශයක් බව නොකිවමනාය. අදාළ සිද්ධියේ පළමු වගඋත්තරකරුවා වන විදුහල්පතිවරයා මේ වන විට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීම පැසසුම්කටයුතුය. 

කනගාටුවට කරුණ වන්නේ මෙම විදුහල්පතිවරයාව මාරුකර යැවීමට විරෝධය පළ කරමින් මේ "පුද්ගලයා" උත්සවයට කැඳවීම අනුමත කිරීමය. සියලුම මවුපියන් සිටින්නේ ඒ ස්ථාවරයේදැයි නොදන්නා නමුත් එක් දෙයක් පැහැදිලිය. ඒ, මේ සමාජය මුග්ධයන්ගෙන් හා දීනයන්ගෙන් පිරී ඇති බවය.

පාසල් දරුවන් ලවා බුලත් හුරුලු දී පිළිගෙන තූර්යවාදන මධ්‍යයේ පෙරහරින් කැඳවාගෙන විත් මූලාසනයේ කතාවද පැවැත්වීමට ඉඩදී ත්‍යාග ප්‍රදානයද මේ පුද්ගලයා ලවා කරවද්දී ඊට විරෝධය පා නැඟිට යෑමට ආරාධිත පාසල්වල විදුහල්පතිවරුන් කිහිපදෙනකුට හෝ කොන්දක් තිබීම ගැන සතුටු විය හැකිය.


කෙසේ වුවද විදුහල්පතිවරයා ප්‍රමුඛ පාසල් සංවර්ධන සමිතිය කළ මේ නිහීන ක්‍රියාව කුමන තර්කයකින්වත් යුක්ති සහගත කළ නොහැකිය. 


කෙවිටෙන් තළා පිටමං කළ යුතු පුද්ගලයකු ගරු බුහුමන් දක්වා "පාසල්" බිමට කැඳවීමෙන්, සහෝදර ගුරුවරිය දණගැස්සවීම සාධාරණීයකරණය කිරීමට විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලය කටයුතු කර ඇති අතර, අශිෂ්ට පිරිමියකු කාන්තාවකට අවමන් කිරීම මවුපියන් විසින් අනුමත කර තිබේ. ගුරු පරපුරටත් සිසු පරපුරටත් මේසා කළ හැකි අවමානයන් තවත් තිබේද?

අනාගතයට මඟපෙන්වන ගුරුවරුන් ඇතුළු වැඩිහිටියන් සිසු දරුවන්ට මින් ලබාදී ඇති පණිවිඩය කුමක්ද?


"සදාචාරය, සංස්කෘතිය, විනය, ගරුත්වය පසෙකට දමා බොරුව රජකරමින් බල්ලන් මරා හරි සල්ලි සොයා බලවතුන් වෙයල්ලා. එවිට දිසාපාමොක්ලා වුවද නුඹලාගේ සට්ටැඹියන් කරගත හැකිය" යන පණිවිඩයයි. මෙවැනි ගොබ්බයන්ගෙන් පිරි සමාජයක යුක්තිය දණගස්වා අයුක්තිය දෙපයින් සිට ගැනීම පුදුමයක්ද?
 
Related Posts with Thumbnails