Ads 468x60px

.

"කියන කොට එහෙමයි, කරනකොට මෙහෙමයි" යෑයි මඩක්‌ වදින්නට කලින්...

රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් නැවතත් කතාබහක්‌ මතුව තිබේ. රජයේ සේවකයන්ගේ වැටුපට සැරසිලි ලෙස එකතු කර ඇති අටෝ රාශියක්‌ දීමනා මූලික වැටුපට එකතුකරන්නට යෑයි කී විට ආණ්‌ඩුව කීවේ රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් දසදහසක දීමනාවෙන් රුපියල් 2500 ක්‌ මූලික වැටුපට එකතු කරන බවය. 

එහෙත් ඒ ගැන හාවක්‌ හූවක්‌ නැත.

දැන් ජාතික වෘත්තීය සමිති පෙරමුණ නැවත රජයට රතු සිග්නල් දමන්නේ රජයේ සේවක වැටුපට එකතු කරනවා යෑයි කී රුපියල් 2500 එළැඹෙන විසිවැනිදාට පෙර ලබාදෙන ලෙසය. 


එසේ නොවුණහොත් "නැවත" වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ඔවුහු සූදානමින් සිටිති. අප මේ "නැවත" යන කාරණය අවධාරණය
කරන්නේ හේතුවක්‌ ඇතිවය. මීට පෙර ද මේ වෘත්තීය සමිති ව්‍යාපාර මගින් ඒ ඉල්ලීම ද ඇතුළුව තවත් බොහෝ කාරණා වෙනුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹියහ. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා පරිපාලන සේවය, වෛද්‍ය සේවය, ඉංජිනේරු සේවය ඇතුළු දීපව්‍යාප්ත සේවාවන්ට අයත් තිස්‌තුන්දහසකට අධික රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළැඹීමට සූදානම් වූයේ පසුගිය 2015 දෙසැම්බර් මාසයේය. 

එහිදී ද එක්‌ ප්‍රධාන සටන් පාඨයක්‌ බවට පත්වූයේ රජයේ සේවකයන්ගේ මූලික වැටුපට දීමනා එක්‌කර වැටුප් තලය සැකසීමය. මේ සියලු වෘත්තීය සමිති ව්‍යාපාර අඩියක්‌ පස්‌සට ගත්තේ ආණ්‌ඩුව ඒ ගැන "විශ්වාස කළ හැකි" අන්දමේ පිළිතුරක්‌ ලබාදුන් බව නිසා පැහැදිලිය. 


දැන් "නැවත" සටන ඇරඹීමට සූදානම් වන්නේ ඇයි දැයි යන කාරණයට හේතුව ඒ විශ්වාසය පළුදු වීම බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ඉටුකරනවා යෑයි කී පොරොන්දුවක්‌ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක්‌ ආණ්‌ඩුවකට තිබිය යුතුය. ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කළ යුතුය. එවැනි වැඩපිළිවෙළකට යා නොහැකි තත්ත්වයක්‌ තිබේනම් ආණ්‌ඩුව තුළ සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ බරපතළ අඩුපාඩුවක්‌ තිබිය යුතුය. 


ඒ නිසාම "කියන කොට එහෙමයි, කරනකොට මෙහෙමයි" යෑයි මඩක්‌ වදින විට ආණ්‌ඩුවේ උදවිය වැඩිමනක්‌ කලබල විය යුතු නැති බව අපේ හැඟීමයි.

මෙවැනි පොරොන්දුවක්‌ ආණ්‌ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ලබාදී තිබිණි. ඒ රුපියල් හතළිස්‌ දාහට අඩු වැටුප් ලබන පෞද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500 ක වැටුප් වැඩිවීමක්‌ ලබාදෙන බවය. ඒ සඳහා ද නිශ්චිත ක්‍රියාමාර්ග ගෙන ඇති බවක්‌ පෙනෙන්නට නැත. 


කනින් කොනින් ඇසෙන ආරංචි අනුව කියන්නේ කොටස්‌ දෙකකට වැඩි කිරීමට නියමිතව ඇති රුපියල් 2500 න් කොටසක්‌ එළැඹෙන මාර්තුවේ වැටුපට එක්‌කිරීමට නියමිත බවය. මේ වන විට එම පනත් කෙටුම්පත වෘත්තීය සමිති අදහස්‌ විමසීම සඳහා ඉදිරිපත් කර ඇති බවද කියති.

ආණ්‌ඩුවේ පොරොන්දුවක්‌ වුවද පෞද්ගලික අංශයේ සේවායෝජකයන්ට එම වැටුප් වැඩි කිරීමේ යම් යම් අපහසුතා මතුවිය හැකි බවද පිළිගත යුතු කාරණයකි. 


එහෙත් පෞද්ගලික අංශයේ බහුතරයක්‌ වූ සේවකයන් එම පොරොන්දුව කෙරෙහි (විශේෂයෙන් අයවැය යෝජනාවලියේම ඉදිරිපත් කළ නිසා) දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින බවද අමතක නොකළ යුතුය. 

ඒ නිසාම රජයේ වගකීම වන්නේ පෞද්ගලික අංශයේ සේවා යෝජකයන්ගේ අදහස්‌ ද විමසමින් එම වැටුප් ලබාදීමට හැකියාව ලැබෙන පසුබිමක්‌ සකස්‌ කිරීමය.

ඇත්ත වශයෙන්ම රජයේ සේවයේ වේවා පෞද්ගලික අංශයේ හෝ වේවා කවරකු වුවද මේ කරන ඉල්ලීම අතිශය සාධාරණ බව අමුතුවෙන් කිව යුතු නැත. 


දීමනා එල්ලූ වැටුපක්‌ සමග රජයේ සේවකයන්ද, ඉතා අවම මාසික වැටුපක්‌ සමග පෞද්ගලික අංශයේ සේවකයන්ද මේ සටන් වදින්නේ දැරිය නොහැකි තරමට ඉහළ ගොස්‌ ඇති බඩු මිල හා එදිනෙදා අනෙකුත් වියදම් සමගය. එමෙන්ම රටේ ජනතාව මත පටවා ඇති බදු බර ගැන ද තක්‌සේරුවක්‌ ආණ්‌ඩුවට තිබිය යුතුය.

මැති ඇමැතිවරුන්ට ගෙන්වන තීරුබදු රහිත වාහන, වැටුප්තල ඉහළ දැමීම්, නිල නිවාස නඩත්තු අලුත්වැඩියා කටයුතු, කාර්යාල පහසුකම් සඳහා අධික මිල ගණන් ගෙවීම වැනි කටයුතුවලට වැය කරන මිලියන ගණන්වල වියදම්වලට වඩා රුපියල් 2500 සොච්චම ගැන තවදුරටත් කල්පනා කරන්න.
 
Related Posts with Thumbnails