Ads 468x60px

.

ගොයම් කැපුනත්, නොකැපුනත් අඩු නොවෙන සහල් මිලක්‌ තිබෙන රටක්‌...


වී ගොවීන් නැවත "අමාරුවේ" වැටෙන්නට නියමිත කාලයක්‌ ඉදිරියේදී එළැඹීමට නියමිතය. පෙබරවාරි අග මාර්තු මුල වන විට රටේ බොහෝ ප්‍රදේශවල වී අස්‌වනු නෙළීම ආරම්භ කෙරේ. 

ඒ "මහ" කන්නය වෙනුවෙන් වී ගොවීන් "අමාරුවේ වැටෙන්නට" නියමිත යෑයි අප කියන්නේ හේතු කාරණා සහිතවය. පසුගිය යල
කන්නයේදී ප්‍රතිපත්තිමය වශයෙන් වී මිලදී ගැනීමේ තීන්දුවක්‌ රජය විසින් ගෙන තිබිණි. 

එහෙත් ඒ සඳහා නියමිත යාන්ත්‍රණයක්‌ රජය නිර්මාණය කර තිබුණේ නැත. රට පුරා වී ගොවීන් ඒ හේතුව නිසාම විඳි දැඩි දුෂ්කරතාවන් නැවත සිහිපත් කළ යුතු නැත.

ඇත්තෙන්ම පසුගිය යල කන්නයේ වී අස්‌වැන්න වාර්තාගත ලෙස ඉහළ ගොස්‌ තිබුණු බව නොදන්නේ තණකොළ ප්‍රධාන ආහාරය කරගත් අයෙක්‌ පමණි. වී මිලදී ගැනීමේ යාන්ත්‍රණය මෙහෙයවන බොහෝ දෙනෙක්‌ගේ ප්‍රධාන ආහාරය ද එය බව පෙනෙන්නට තිබේ. 


දැනගන්නට ඇති පරිදි, පසුගිය යල කන්නයේදී වී අලෙවි මණ්‌ඩලය මිලදී ගත් වී මේ වනතුරුත් ගබඩාවල ගොඩගසා තිබේ. වී ගොවීන් කියන පරිදි එළැඹෙන මහ කන්නයේ වී අස්‌වනු නෙලූ පසු එමගින් ලැබෙන වී ගබඩා කර තැබීමට අදාළ බලධාරීන්ට ගබඩා පහසුකම් නැත.

වී ගොවීන් කියන මේ කතාවේ ඇත්තක්‌ ඇති බව පෙනේ. ගොවීහු "කබලෙන් ලිපට පමණක්‌ ලිපෙනුත් එළියට" විසිවීමේ කටුක අත්දැකීම් විඳ ඇත්තාහ. ඒ නිසාම ඔවුහු ඉදිරිය පිළිබඳව සුපරීක්‍ෂාකාරී වන්නාහ. 

මහ කන්නයේ වී අස්‌වනු මිලට ගැනීමට නම් මේ වන විට ගබඩා හිස්‌ කළ යුතුව තිබේ. ඒ සඳහා කිසිදු විධිමත් සැලැස්‌මක්‌ කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ වී අලෙවි මණ්‌ඩලයට ඇති බවක්‌ පෙනෙන්නට නැත. 

ඉදිරි සති දෙක තුන ඇතුළත ගබඩා හිස්‌ කිරීමට නම් ඉක්‌මන් වැඩ පිළිවෙළක්‌ සෙවිය යුතුය. අදාළ බලධාරීන්ට ඇත්තේ අපූරු විසඳුම්ය. 

"මතින් තොර රටක්‌" සංකල්පය තිබියදීම වී මෙටි්‍රක්‌ ටොන් 4700 ක්‌ බියර් සමාගමකට විකුණා දමන්නේ ඒ නිසාය. "යල" කන්නයෙත්, "මහ" කන්නයෙත් වී අස්‌වනු උතුරා යන විට "අදාළ අය" මොනවා නොකරාවිද?

යල කන්නයේ සහල් තොග ගබඩාවල ගොඩගසා ඇති බව ජනාධිපති වරයා ද පිළිගන්නා කාරණයකි. ඒ නිසාම ජනාධිපතිවරයා උපදෙස්‌ දී තිබුණේ ආරක්‍ෂක හමුදාවලට සහ රජයේ රෝහල්වලටත් එමෙන්ම විවිධ සුබසාධන කටයුතුවලටත් අවශ්‍ය සහල් රජයේ ගබඩාවලින් ලබාගන්නා ලෙසයි.

පසුගිය යල කන්නයේ ගොවීන්ගේ වී මිලට ගැනීමට රජය රුපියල් මිලියන අටදහසක්‌ පමණ වැයකර තිබේ. මේ වී තොග ගබඩා කර තිබෙන්නේ සහල් කිරීමට නිසි ක්‍රමවේදයක්‌ සැලසුම් නොකරමිනි. 


මේ වන විට රජය තීරණය කර ඇත්තේ එසේ මිලදී ගත් වී මෙටි්‍රක්‌ ටොන් දෙලක්‍ෂ හැටපන්දහසක්‌ පුද්ගලික අංශයට විකිණීමටයි. එම වී තොගයේ වැඩි කොටස එනම්, මෙටි්‍රක්‌ ටොන් දෙලක්‍ෂ විසිහය දහස්‌ එකසිය විසිපහක්‌ (මෙටි්‍රක්‌ ටොන් 2,26,125 ක්‌) වූ කොටස "නාඩු" වී බව කියති.

රට පුරා බොහෝ ගොවි මහතුන් පවසන පරිදි මහ කන්නයේ අස්‌වැන්න සාර වන ලකුණු තිබේ. එහෙත් වී අලෙවි කර ගැනීමේදී දැඩි දුෂ්කරතා වනට මුහුණපා හැකි බව ඒ සියලු දෙනාගේ පොදු මතයයි. 


ගොවියා කවදත් පෞද්ගලික අංශයේ ගොදුරක්‌ බවට පත්වීම වැළැක්‌වී මට මේ වත්මන් ආණ්‌ඩුවට ද නිසි වැඩපිළිවෙළක්‌ නොමැති බව පෙනේ. ආණ්‌ඩුව වී ගොවියාට සහන සලසනවා යෑයි කියමින් සහතික මිලක්‌ නියම කළද, වී මිලට ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක්‌ සකසා නැත. 

සහතික මිලෙන් වැඩි ප්‍රයෝජනයක්‌ අත්කර ගන්නේ ද මෝල් හිමියන්ය. ඒ, රජයේ මිල පදනම් කොට සහල් මිල නියම කිරීමට ඔවුන්ට ඇති හැකියාව නිසයි.

මෙවර අස්‌වනු සරුවීම නිසා වී කිලෝවක ගැනුම් මිල බොහෝ සෙයින් අඩුවීමට ද ඉඩ තිබේ. එයින් කියෑවෙන්නේ වෙළෙඳපොළේ සහල් මිල ද හිතූ හැටියට අඩුවන බව නොවේ. 


ආනයනික සහල් මිල තීරණය කිරීම, ඒවාට බදු පැනවීම, මෙරට වී ගොවීන්ගේ සහල් මිලට ගැනීම මිල තීරණය කිරීම, වෙළෙඳපොළ මිල තීරණය කිරීම මේ ආදී බොහෝ කාරණා සම්බන්ධයෙන් ආණ්‌ඩුවට නිශ්චිත වැඩපිළිවෙළක්‌ නැත. 

ඒ නිසාම ඉදිරියේදී වී ගොවියාටත් සහල් පරිභෝජනය කරන්නන්ටත් පොදුවේ මුහුණපෑමට සිදුවන ගැටලුවට ද උත්තරයක්‌ නැත.

දැන් ආණ්‌ඩුවට අවස්‌ථාවක්‌ ලැබී තිබේ. ඒ, රටේ "අරක්‌කු" කර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙළක්‌ සැකසීමටයි. ගොයම් කැපුනත්, නොකැපුනත් අඩු නොවෙන සහල් මිලක්‌ තිබෙන රටක, ගොවියාට නිසි ප්‍රතිලාභයක්‌ නොලැබෙන රටක, ගබඩාවල වී පුස්‌කන රටක ඒ හැර වෙන මොනවා කරන්නද?
 
Related Posts with Thumbnails