Ads 468x60px

.

"නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති" වර්ගයේ අමුතු එකක්‌..


සීකා ('සන්) පැමිණේවියෑයි රටේ ජනතාව බොහෝ සෙයින් බියවී සිටියහ. සීකා යනු කොහේ හෝ රටක සිට පැමිණෙන ගායිකාවක හෝ නිළියක නොව භයානක වෛරස්‌ ආසාදනයකි. 

එය ශ්‍රී ලංකාවටද ව්‍යාප්ත වීමේ අවදානමක්‌ ඇති බැවින් සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු හඟවා තිබිණි. එම
වෛරස ආසාදනය ගැබිනි මාතාවන් කෙරෙහි වැඩි බලපෑමක්‌ කරන බව පැවසේ. එය භයානක තත්ත්වයකි. ප්‍රවේශම් විය යුත්තේ ඒ නිසාය. 

ඒ වසංගත මාරයාගෙන් බේරීම සඳහා ක්‍රමවේද ගුවන් තොටුපළේ සිටම ක්‍රියාත්මක කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කරයි. එසේ කී පමණින් සම්පූර්ණයෙන්ම බිය ඉවත් කර ගත යුතු නැත. ටිකක්‌ විතර බයෙන් සිටීම ඇඟට ගුණය.

"සීකා" එනවා යෑයි බියවී සිටින අපට ගෙයිදොරකඩ සිටින "මාරයා" අමතක ව තිබේ. එනම්, රටේ ඩෙංගු අවදානම තවමත් පහව ගොස්‌ නැත. එහි "තරම" තේරුම් ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන ප්‍රමාණවත්ය. 


එහි කියෑවෙන පරිදි 2016 ආරම්භ මාසයේ (ජනවාරියේ) පමණක්‌ ඩෙංගු රෝගීන් 3,333 ක්‌ (තුන්දහස්‌ තුන්සිය තිස්‌ තුනක්‌) වාර්තා වී තිබේ. ඉනිදු 1316 ක්‌ වන වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙනි. මේ සංඛ්‍යාලේඛනවලින් පෙන්වා දෙන්නේ පසුගිය අවුරුදු කිහිපයේම ඩෙංගු මර්දන වැඩසටහන්වල "ප්‍රගතිය" යි.

ඩෙංගු පැතිරෙන ආකාරයෙන් පෙනෙන්නේ ඩෙංගු මර්දන ව්‍යාපෘති යනු "නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති" වර්ගයේ අමුතු එකක්‌ බවය. අධ්‍යාපනික වැඩසටහන් පැවැත්වීම, ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා ධූමායනය, බී.ටී.අයි. බැක්‌ටීරියාව ඉසීම, මදුරු මර්දන සති හරහා ඩෙංගු මදුරුවන් බෝවෙනතැන් විනාශ කිරීම, එම මදුරුවන් බෝවන අයුරින් තම නිවාස හා ගෙවතු පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීති පියවර ගැනීම මේ ආදී වශයෙන් අටෝරාශියක්‌ ව්‍යාපෘති පසුගිය කාලයේ ක්‍රියාත්මක විණි. (ඉදිරියේදී ක්‍රියාත්මක වීමටද නියමිතය.)

"කියුබාව ඩෙංගු තුරන් කළ හැටි" දැන් පාසල් රචනාවක්‌ තරමටම රටේ ජනතාවට කටපාඩම් ය. ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා කියුබාව භාවිත කළ බී.ටී.අයි. බැක්‌ටීරියා දියර ආනයනය කර ඩෙංගු මර්දනය සඳහා භාවිත කළ ද සාර්ථක ප්‍රතිඵල අත්වී නැති බවක්‌ පෙනේ. 


එය කියුබාවේ සාර්ථක වන්නටත් ශ්‍රී ලංකාවේ අසාර්ථක වන්නටත් පැහැදිලි හේතුවක්‌ අදාළ බලධාරීන් ප්‍රකාශ කළ යුතුය. එක්‌කෝ කියුබාවට වඩා මේ රටේ ඩෙංගු මදුරු කීටයන් අමුතු පණක්‌ තිබෙන උන් විය යුතුය. එසේත් නැත්නම් බොහෝ විට සිදුවන පරිදි අපට "බාල බඩු" ලැබී තිබේ. 

බී.ටී.අයි. බැක්‌ටීරියා කතන්දරය පසෙකින් තබමු. මදුරු මර්දන සති අසාර්ථක වීමට හේතුව කුමක්‌ද? එවැනි සතියකදී මහා මාර්ග දෙපස පිහිටි නිවාස හා ආයතනවල ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන ඇත්දැයි පරීක්‍ෂා කර "දඩ" ගැසීමද සිදු වේ. එහෙත් සතියක්‌ නොව දිනක්‌ ඉක්‌ම යන්නට ද පෙර තත්ත්වය පෙර පරිදිම බව ඒ සඳහා පැමිණෙන නිලධාරීන් නොදන්නා බව පැහැදිලිය.

මදුරු මර්දන වැඩසටහන්වලදී ජනතාවට දඩ ගසා උසාවියට ඉදිරිපත් කර මේ තත්ත්වයට විසඳුම් සෙවිය නොහැකිය. සෑම නගර සභාවකම, ප්‍රාදේශීය සභාවකම ඉහළ නිලධාරියාගේ සිට කම්කරුවා දක්‌වා වූ පිරිස සියයට සියයක්‌ කැපවීමෙන් සිය රාජකාරිය ඉටු කරනවා නම් තත්ත්වයට විසඳුම් සෙවීම අපහසු නොවේ. සෑම නගරයකම, ගමකම වෙසෙන නිවැසියන් සමඟ එක්‌ව සාකච්ඡා කරමින්, නිතිපතා අධීක්‍ෂණය කරමින් පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය හඳුනාගත යුතුය.

කොළඹ නගරයේ වාර්තාගත ප්‍රමාණයකින් ඩෙංගු රෝගීන් ඉහළ ගොස්‌ ඇති බව කියන අයට කොළඹ වටේ අහුමුළුවල රවුමක්‌ ගොස්‌ තොරතුරු සෙවීම අවශ්‍ය නැත. අඩුම වශයෙන් බේරේ වැව හෝ කොළඹ නගරය මැදින් හා අවට ගලා යන ඇළපාරවල්, බෝක්‌කු, කාණු පිරික්‍ෂා බැලූ විට තත්ත්වය අවබෝධ කරගත හැකිය.

අප විශ්වාස කරන්නේ මෙය "සතියේ" ව්‍යාපෘතියක්‌ ලෙස නොව වසර පුරා එක දිගට ක්‍රියාත්මක වන එකක්‌ විය යුතු බවය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අදාළ බලධාරීන් පමණක්‌ නොව සිවිල් සංවිධාන නියෝජිතයන් හා රටේ ජනතාව එක්‌ව ක්‍රියාත්මක කරන තිරසාර වැඩපිළිවෙළක්‌ බවට ඩෙංගු මර්දන වැඩසටහන් පරිවර්තනය විය යුතුය.
 
Related Posts with Thumbnails