Ads 468x60px

.

හිඟ මුදලුත් සමග පෞද්ගලික අංශයේ රු. 2500 හරි - පනත සම්මතයි


පෞද්ගලික අංශයේ සේවකයන්ට 2015 මැයි මස සිට රුපියල් 1500 ක වැටුප් වැඩිවීමක්‌ සහ 2016 ජනවාරි සිට රුපියල් 1000 ක වැටුප් වැඩිවීමක්‌ හිමිවන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත්
කෙටුම්පත ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

ඊට අමතරව පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප රුපියල් දසදහසක්‌ බවට නීතිගත කරන සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත ද සම්මත විය.

මේ අනුව රුපියල් 1500 ක වැටුප් වැඩිවීමේ හිඟ මුදල 2015 මැයි සිට ද රුපියල් 1000 ක හිඟ මුදල 2016 ජනවාරි සිට ද සේවකයන්ට ගෙවිය යුතු බව මෙම පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අදියර දෙකටම අදාළ හිඟ මුදල සමාන වාරික 12 කින් ගෙවීමට සේවා යෝජකයාට අවස්‌ථාව ලබාදෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

දෛනික වැටුප් ලබන්නෙකු දිනකට රුපියල් 1600 කට අඩුවෙන් උපයන්නේ නම් පළමු අදියර යටතේ ඔහුට රුපියල් 60 ක වැටුප් වැඩිවීමක්‌ දිනකට හිමි වේ.

කුලී ක්‍රමයට වැටුප් ලබන සේවකයකුට මෙතෙක්‌ ලද වැටුපට වඩා සියයට 15 ක වැටුප් වැඩිවීමක්‌ මැයි 01 සිට හිමිවෙයි.

යම් සේවකයකු රුපියල් 40,000 කඩඉම් සීමාවේ සිටින්නේ නම් හෝ ඔහු රුපියල් 41500 ට වඩා අඩු වැටුපක්‌ ලබන්නේ නම් ඔහුට රුපියල් 1500 හෝ 1500 නොඉක්‌මවන මුදලක්‌ අනුග්‍රාහක වැඩිවීමක්‌ ලෙස හිමිවේ. එහෙත් රුපියල් 41500 ක හෝ ඊට ඉහළ වැටුපක්‌ ලබන්නේ නම් ඔහුට වැටුප් වැඩිවීමක්‌ හිමි නොවේ.

දෙවැනි අදියරේදී දෛනික වැටුප් ලබන්නෙකුට දිනකට රුපියල් 40 ක වැටුප් වැඩිවීමක්‌ ද කුලී ක්‍රමයට සියයට 10 ක වැටුප් වැඩිවීමක්‌ ද හිමි වේ.

යම් සේවකයකු රුපියල් 41500 කට වඩා අඩුවෙන් වැටුප් ලබන්නේ නම් ඔහුට රුපියල් 41500 නොඉක්‌මවන පරිදි රුපියල් 1000 ක්‌ දක්‌වා වැටුප් වැඩිවීමකට හිමිකම් ලැබේ.

යම් කර්මාන්තයක ආර්ථික තත්ත්වය අයහපත් නම් කර්මාන්ත හා ආර්ථික කටයුතු ඇමැතිවරයාගේ අදහස්‌ විමසා කම්කරු ඇමැතිවරයාගේ අනුමැතිය මත මෙම වැටුප් වැඩිකිරීම අවුරුද්දකට නොවැඩි කාලයකට පමාකරගත හැකි බව ද ඇමැතිවරයා කීවේය.

එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයකුගේ ජාතික අවම මාසික වේතනය රුපියල් දස දහසක්‌ වන අතර ඊට සමානුපාතිකව ජාතික අවම දෛනික වේතනය රුපියල් 400 ක්‌ විය යුතු බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

සේවක අයවැය සහන දීමනා පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඇමැතිවරයා එසේ කීවේය.
 
Related Posts with Thumbnails