Ads 468x60px

.

අපරාධකරුවෙකුට සදාකාලිකව සැඟව සිටිය නොහැකි බව...

කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට තිබූ අබිරහස් මිනිස් ඝාතන දක්ෂ නිලධාරීන් විසින් හෙළිදරව් කරගත් අවස්ථා අප රටේ එමට ඇත. එහෙත් 2012 වසරේ මැයි මස 17 දින නාරාහේන්පිට උද්‍යාන පාරේදී රිය අනතුරක් නිසා

වූ බව මුලින් කියැවුණු වසීම් තාජුඩීන් නම් ප්‍රකට රගර් ක්‍රීඩකයාගේ මරණය මිනීමැරුමක් බවට තහවුරු වේ යැයි බොහෝ දෙනෙකු සිතුවේ නැත. තාජුඩීන්ගේ මරණය සැක සහිත වුවත්

ඒ සැකය සමග ඈඳුන ප්‍රභූ පුතුන්ගේ නාමාවලිය නිසා තාජුඩීන්ගේ මරණය සදාකාලික අබිරහසක් බවට පත්වනු ඇතැයි බොහෝ දෙනා සිතූහ. 

විශේෂයෙන් මේ සිද්ධියට හිටපු ජනපතිවරයාගේ ආරක්ෂක අංශයේද සම්බන්ධයක් ඇති බව කියැවුණි. ඒ එම ඒකකයේ සිටි කපිතාන් තිස්ස නමැත්තෙකුට මෙම ඝාතන චෝදනා එල්ල වීමය.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව මුලින්ම අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහ‍ලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රධානී ආනන්ද සමරසේකර විසිනි. 


ඔහුගේ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ තාජුඩීන්ගේ මරණය රිය අනතුරක් නිසා සිදුවූ බවය. කෙසේ වෙතත් මෙම තීන්දුව බොහෝ දෙනෙකුගේ සැකයට තුඩු දුන් බව අවිවාදිතය. 

එහෙත් එවකට පැවැති දේශපාලන තත්ත්වය මත ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවීය. ඒ යුගයේ සිදුවූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය වැනි අබිරහස් ඝාතන ලැයිස්තුවට තාජුඩීන්ගේ මරණයද එක්විය.

එහෙත් මේ සියලු දේ කණපිට හැරෙනුයේ 2015 ජනවාරි 8දා සිදුවූ ඓතිහාසික බලපෙරළියට පසුවය. කාලයේ වැලිතලාවෙන් වැසී යමින් තිබූ අබිරහස් රැසක් යළි කරළියට එන්නට විය. නානාවිධ බලපෑම් නිසා යටගොස් තිබූ තාජුඩීන් ඝාතනය ද යළි කරළියට ආවේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.


තාජුඩීන්ගේ මරණය පිළිබඳ දෙවනවර කරන ලද පරීක්ෂණ ඇරඹෙන්නේ 2015 අගෝස්තු මස දස වෙනි දිනය. ඒ දෙහිවල සුසාන භූමියේ භුමදානය කර තිබූ තාජුඩීන්ගේ මළසිරුර ගොඩට ගැනීමත් සමගය. 


ගල්කිස්ස මහේස්ත්‍රාත් සුහර්ෂා වික්‍රමසිංහගේ අධීක්ෂණය යටතේ ගොඩගත් තාජුඩීන්ගේ සිරුර දෙවන වරටත් පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කරනු ලැබිය. දෙවන වරට මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ වර්තමානයේ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් විසිනි. 

එම පරීක්ෂණවලදී තාජුඩීන් මියගියේ රිය අනතුරකින් නොව ගෙල, පපුව සහ දෙපාවලට මොට ආයුධයකින් කළ පහරදීමකින් බව තහවුරු විය. එපමණක්ද නොව අනතුර සිදුවන අවස්ථාවේ තාජුඩීන් රිය පදවා නැති බවද මරණ පරීක්ෂණ වාර්තාව තහවුරු කර තිබුණි.

මෙම දෙවන මරණ පරීක්ෂණ වාර්තාව ඩී.එන්.ඒ. වාර්තා, මෝටර් රථ පරීක්ෂකගේ වාර්තාව ඇතුළු වාර්තා හයක් සැලකිල්ලට ගත් අධිකරණය වසීම් තාජුඩීන්ගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඊට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් රහස් ‍පොලීසියට නියෝග කළේ ගිය සතියේය.


මෙම අධිකරණ ක්‍රියාවලියේදී මියගිය තාජුඩීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඒ.එස්.එම්. මිස්බා පවසනුයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්ගේ නියෝගය අනුව තාජුඩීන්ගේ මරණයට වගකිව යුතු පුද්ගලයන් සේම මෙම මිනිස් ඝාතනය රිය අනතුරක් බවට ව්‍යාජ අන්දමින් හඳුන්වන්නට උත්සාහ ගත්, සියලු දෙනාද අධිකරණයට ඉදිරිපත් කිරීමට ‍පොලීසියට සිදුවන බවයි.
මරණ පරීක්ෂණය මුල් අවස්ථාවේ කළ වෛද්‍යවරුන් විසින් තාජුඩීන්ගේ ශරීරයෙන් ලබා ගත් අස්ථි කොටස් මේ වන විට අතුරුදන්ව තිබේ. 


ඒ සම්බන්ධවද අධිකරණයේ අවධානය යොමුව ඇත. ඒ අනුව එකී අස්ථි කොටස් නිසි ක්‍රමවේදයක් යටතේ ආරක්ෂා කරන්නට කටයුතු යොදා තිබුණේද යන්න පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට වෛද්‍ය සභාවටද අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කර ඇත. 

එම වාර්තාව පසුගිය 26දා ට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නමුත් එදිනට එය ඉදිරිපත් කළ නොහැකි වූ බවත්, ලබන නඩු වාරයේදී එය ඉදිරිපත් කරනා බව වෛද්‍ය මණ්ඩලයේ ‍ලේකඛාධිකාරිවරයා ප්‍රකාශ කරයි.

අධිකරණ නියෝගය අනුව ඉදිරියේදී තාජුඩීන්ගේ මරණයට සම්බන්ධ පුද්ගලයින් මෙන්ම එහි සැබෑ තොරතුරු වසන් කරන්නට උත්සාහ ගත් උදවියට ද නීතියේ රැහැනින් ගැලවීමට නොහැකි වනු ඇත. කිසිදු අපරාධකරුවෙකුට සදාකාලිකව සැඟව සිටිය නොහැකි බව තාජුඩීන්ගේ මරණයෙන්ද තවත් වරක් තහවුරු වෙයි.
 
Related Posts with Thumbnails