Ads 468x60px

.

දේශයේ ගෞරවාදරය සමඟින් අප ඔබ වහන්සේට අජරාමර නිවන් සුව පතන්නෙමු..


මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්‌සි මහනාහිමියෝ මහනුවර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී පෙරේදා (9 වැනිදා) අපවත් වී වදාළහ. අපවත් වන විට 95 වැනි වියෙහි පසුවූ නාහිමියෝ අස්‌ගිරි පාර්ශවයේ 21 වැනි මහනායක හිමිපාණෝ වූහ.

ඓතිහාසික මාතලේ දිස්‌ත්‍රික්‌කයේ අස්‌ගිරි පල්ලේසියපත්තුවේ සුන්දර ගලගම ගම්මානයේදී ශාසන ලැදි තෙන්නකෝන් මුදියන්සේලාගේ පිංචිඅම්මා කුමාරිහාමි සහ කුලතුංග මුදියන්සේලාගේ ඩිංගිරිබණ්‌ඩා

නිලමේතුමාට දාව පින්වත් පුත්‍රරත්නයක්‌ව 1922 ජනවාරි මස 11 වැනිදා කුලතුංග මුදියන්සේලාගේ කිරි බණ්‌ඩාර ලෙස උන්වහන්සේ මෙලොව එළිය දුටහ. 

යටවත්තේ ශ්‍රී වීරපරාක්‍රම මධ්‍ය මහා විද්‍යාලයේ ගිහි අධ්‍යාපනය ලද ඒ කුලකුමරුවා 1936 වර්ෂයේ පැවිදි දිවියට ඇතුළත් විය. ඒ, සිය මාපිය පූර්ණ ආශිර්වාදය ඇතිවය. 

උරුලෑවත්ත විහාරස්‌ථානයේ එවකට විහාරාධිපති ධුරය දැරූ උඩුරාවන ධම්මානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස පැවිදි දිවියට පත් උන්වහන්සේ 1937 වර්ෂයේදී මාතලේ ශ්‍රී ධර්මරාජ පිරිවෙණෙන් මූලික අධ්‍යාපනය ලදහ.

පැවිදි දිවියට ඇතුළත් වීමට පෙර සිටම ගමේ පන්සල ඇසුරෙහි බණ දහම් ප්‍රගුණ කළ උන්වහන්සේ කුඩා අවදියෙත් මධුර ලෙස සද්ධර්මාලංකාරය හඬනඟා කීමෙහි දක්‍ෂ වූහ. 


එහෙයින්ම පිරිවෙන් අධ්‍යාපනය ලබන කාලයේ ද එවකට ශ්‍රී ධර්මරාජ පිරිවෙන් මූලාචාර්ය ගම්මුල්ලේ ශ්‍රී චන්දජොත්‍යාභිධාන අෂ්මදාචාර්ය නායක හිමිපාණන් ඇසුරෙහි බණ දහම්, අභිධර්ම, භාෂා ශාස්‌ත්‍ර ප්‍රගුණ කරමින් උවසු උවැසියන්ගේ සිත් පහන් කරවන අයුරින් චතුරව, ව්‍යක්‌තව දම් දෙසුමට අප මහ නාහිමිපාණන්ට හැකි වූහ. 

1947 වර්ෂයේදී සිංහල, පාලි, සංස්‌කෘත, දෙමළ යන විෂයයන් සඳහා විශිෂ්ට සාමාර්ථ ලබමින් ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාගයන්ගෙන් උසස්‌ ලෙස සමත් වීමට උන්වහන්සේට හැකියාව ලැබිණි. රාජකීය පණ්‌ඩිත විභාගයෙන් අනතුරුව සද්ධර්මාචාර්ය උපාධිය ද 1950 වර්ෂයේදී අභිධර්මාචාර්ය උපාධියද අප නාහිමියෝ ලබාගත්හ.

උන්වහන්සේ උපසම්පදාව ලබාගත්තේ අස්‌ගිරි විහාර පාර්ශවයෙහි මහා විහාර උපෝසථාගාරයේදී එවකට මහ නාහිමිපාණන්ව වැඩවිසූ අතිපූජ්‍ය මුල්ලේගම ගුණරතනාභිධාන නාහිමිගේ ප්‍රධානත්වයෙනි.

අතිපූජ්‍ය ගලගම අත්ථදස්‌සි අප මහ නාහිමිපාණෝ තරුණ භික්‍ෂුවක ලෙස සිය අධ්‍යාපනික කටයුතු ද, ශාසනික මෙහෙවරද, සමාජ මෙහෙවර ද සමබරව කරගෙන යැමට සමත් වූහ. එහි කූටප්‍රාප්තිය සනිටුහන් කළේ ත්‍රිපිටකාචාර්ය විභාගය ද සමත්ව උන්වහන්සේ ප්‍රගුණ කළ සිප්සතර, දහම් දැනුම අනාගත පරපුරට ලබාදෙනු පිණිස ගුරු සේවයට එක්‌වීමය. 


1981 වර්ෂයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ශ්‍රී දන්ත ධාතු මන්දිරයේ තේවා ධුරය ද පසුව 1999 - 2000 වර්ෂයන්හි තේවාවේ ප්‍රධානත්වය ගෙන ද උන්වහන්සේ කටයුතු කළහ.

අප මහා නාහිමියන්ගේ ශාසනික මෙහෙවර මේ දිවයිනට පමණක්‌ සීමා වූවක්‌ නොවීය. ආගමික සම්මේලන, සම්මන්ත්‍රණ, සාකච්ඡා, ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ජාත්‍යන්තරයේ බොහෝ රටවලට ද උන්වහන්සේ වැඩම කළහ. මේ සා ප්‍රවීණත්වයකින් බුහුමන් ලද අති පූජ්‍ය ගලගම අත්ථදස්‌සි නාහිමියෝ අස්‌ගිරි මහා විහාරයීය කාරක මහ සංඝ සභික පදවියකට පත්ව, 1999 වර්ෂයේදී අනුනායක පදවියට ද පත් වූහ.

සිල්වත් බවින්ද ගුණවත් බවින්ද පොහොසත් අප නාහිමියන්ගේ නැණ නුවණ, ජ්‍යෙෂ්ඨත්වය අගය කරමින් 2015 වර්ෂයේදී අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක පදවියට උන්වහන්සේ පත් කරනු ලැබූහ.

උන්වහන්සේ 95 වැනි විය සපුරා සිටියදීත් ජවයෙන් යුතුව අදහස්‌ දැක්‌වීම සහ අත්‍යවශ්‍ය සමාජ මෙහෙවරකදී තම ඉදිරිපත් වීම සිදු කළහ. දළදා මාලිගාව ඉදිරිපිට පාර විවෘත කිරීමේ අර්බුදයේදී උන්වහන්සේ Riජු ප්‍රතිපත්තියක සිටියහ. එය ආසන්නතම උදාහරණයයි. 


එමෙන්ම අවශ්‍ය තැනදී ඉතා සන්සුන්ව, මැදහත්ව Riජු අදහස්‌ ප්‍රකාශ කිරීම උන්වහන්සේගේ කැපී පෙනෙන ගුණාංගයක්‌ විය. බුද්ධ දේශනාවට අනුගතව පරාර්ථචර්යාව උදෙසාම කැපවූ නාහිමියනි... 

දේශයේ ගෞරවාදරය සමඟින් අප ඔබ වහන්සේට අජරාමර නිවන් සුව පතන්නෙමු.
 
Related Posts with Thumbnails