Ads 468x60px

.

වාසනාවන්තයන්ට නිසි තැන, නිසි දේ ලැබී තිබේ...


රට බරපතල ආර්ථික අර්බුදයක පවතින නිසා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී නව බදු සංශෝධන කිහිපයක්‌ හඳුන්වා දී තිබිණි. අපට පෙනෙන හැටියට මේ බදු වැඩි කිරීමේ "අමාරුව" තදින්ම දැනී තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 දෙනාටය. 

ඒ නිසාමදො බදු සංශෝධන ගෙන ඒමෙන් දින කිහිපයක්‌ ගතවන්නටත් පෙර රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වී පාර්ලිමේන්තුව
නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 225 දෙනා සඳහා දැනට ලැබෙන වරප්‍රසාද හා දීමනා වැඩි කිරීමට තීරණයක්‌ ගෙන තිබෙන බව සඳහන්ය.

ඇත්තටම මේ වන විට ජනතාවට කිසිම ප්‍රශ්නයක්‌ ඉතිරිව තිබෙන්නට බැරිය. බදු, බඩු මිල, තෙල් මිල ඉහළ නැංවීම ජනතාවට එතරම් ප්‍රශ්න නොවේ. වීවලට සහතිකවම "සහතික මිලක්‌" තිබේ. ඒ නිසා සහල් මිල පිළිබඳව ප්‍රශ්නයක්‌ නැත. 


රට සහලින් ස්‌වයංපෝෂිත නිසාම සහල් මිල සොච්චමකි. සහල් ටොන් ගණනින් අරක්‌කු නිෂ්පාදනය සඳහා විකුණා දමන නිසා "ජනතාව" අතර යහමින් මුදල් ගැවසේ. පොහොර "වවුචර" ක්‍රමයට ලබාදෙන නිසා කෘෂිකර්මාන්තයට හොඳ කලක්‌ පැමිණ තිබේ.

ඒ නිසාම ගෙවතු වගා සංකල්ප දියුණු වී තමන්ට අවශ්‍ය එළවළු තමන්ම වගා කර ගනිති. තෙල් මිල කොහෙත්ම රටේ ජනතාවට අර්බුදයක්‌ නොවේ. "ඉලෙක්‌ටි්‍රක්‌ කාර්" සඳහා බදු සංශෝධන ගෙන ආ නිසා ඒ ගැන කිසිවක්‌ කතා කළ යුතු නැත.

ඉතිං, මේ කිසිදු වරප්‍රසාදයක්‌ නැති ජනතා සේවය වෙනුවෙන්ම කැපවී සිටින මැති ඇමැතිවරුන්ට සොච්චමක්‌ වැඩි කළ පළියට අප කිසිවෙකුත් කලබල විය යුතු නැත. මේ "සුළු" දීමනා මෙසේය. 


දුරකථන දීමනා රුපියල් 50,000 (පනස්‌ දහස) කි. මන්ත්‍රී කොට්‌ඨාසයේ කාර්යාලයක්‌ පවත්වාගෙන යැම සඳහා රුපියල් 75,000 (හැත්තෑපන්දහස) කි. කොළඹින් කිලෝමීටර 25 කට වඩා දුරින් පදිංචි මන්ත්‍රීවරයකුට රුපියල් 50,000 (පනස්‌ දහස) කි. පාර්ලිමේන්තු රැස්‌වීම් සහභාගිත්වයට දිනකට රුපියල් 2500 කි.

මීට පෙර ගෙවන ලද්දේ රුපියල් 500 කි. ආංශික කාරක සභා රැස්‌වීමක්‌ සඳහා දවසට රුපියල් 4000 කි. ඒ අනුව පාර්ලිමේන්තු සහභාගිත්වය හා ආංශික කාරක සභාවලට දක්‌වන සහභාගිත්වයට හිමිවන මුදල හැර, එක්‌ මන්ත්‍රීවරයකුට මාසිකව ලැබෙන්නට නියමිත මුළු මුදල රුපියල් 175,000 (එක්‌ලක්‍ෂ හැත්තෑපන්දහසකි.) කි. 


ඒ අනුව, පාර්ලිමේන්තුවේ 225 ක්‌ වූ සියලුම වාසනාවන්තයන්ට මසකට රුපියල් 393,75000 (රුපියල් තුන්කෝටි අනූතුන් ලක්‍ෂ හැත්තෑපන්දහසක) ක මුදලක්‌ වැය කිරීමට නියමිතව තිබේ.

රටේ වෙන ප්‍රශ්න කිසිවක්‌ නැති නිසා ජනතා සේවයට කැපවී සිටින 225 දෙනකුට මේ ආකාරයෙන් සැලකීම මෑත කාලයේ ආණ්‌ඩුවක්‌ විසින් ගන්නා ලද කාලෝචිත නැණවත් තීරණයක්‌ බව කිව යුතුය.

මැති ඇමැතිවරු බොහෝ දෙනකුට යානවාහන නැත. ඉන්නට හිටින්නට තැනක්‌ නැත. ඒ නිසාම "ඩියුටි ෆ්‍රී" වාහන ආනයනය කරති. මේ ආණ්‌ඩුව පත්වූ දා සිටම බරපතල ප්‍රශ්නයක්‌ වූයේ නිල නිවාස අර්බුදයයි. 


මන්ත්‍රීවරුන් රාජකාරිය පහසු කර ගැනීම පිණිස ගෙයක්‌ දොරක්‌ හොයන විට බොහෝ දෙනෙක්‌ අමන ප්‍රශ්න අසති. "ගමේ මිනිහාගේ ඡන්දයෙන් පත්වී, ගමට වැඩ කරනවා වෙනුවට, කොළඹට වී අහවල් කෙන්ගෙඩියක්‌ කරනවාදැයි" විමසීමම ගොන් කමකි. 

මහජන දිනය දාට, මුළු ගමම, අමාත්‍යාංශයට පැමිණ ගමේ ප්‍රශ්න ගැන කතා කරනවා වෙනුවට, මැති ඇමැතිවරුන්ට කියන්නේ ගමට පැමිණ එක්‌ එක්‌ අයගේ ගෙවල්වලට ගොඩවදින්නදැයි අපට ඒ මෝඩ මිනිසුන්ගෙන් අසන්නට සිදු වේ.

අපට කියන්නට ඇත්තේ මෙපමණය. කර්ම චක්‍රය අනුව වාසනාවන්තයන්ට නිසි තැන, නිසි දේ ලැබී තිබෙන බවය. ඒවාට ඊර්ෂ්‍යා කිරීම යුතු නැත.
 
Related Posts with Thumbnails