Ads 468x60px

.

රටේ ජනතාව ඉතා පරෙස්‌සමෙන් විදුලිය සමඟ කටයුතු කරන්නේ "කරන්ට්‌" වදින නිසාද..?


වසර 20 කට පසු දීර්ඝතම විදුලි බිඳවැටීම පෙරේදා එනම් 13 වැනි ඉරිදා වාර්තා විය. විශේෂත්වය වන්නේ මාස හයක කාලයක්‌ තුළ ජනතාව දැඩි අපහසුතාවට පත් කරන අන්දමේ විදුලි බිඳවැටීම් තුනක්‌ වාර්තා වී තිබීමය. 

මේ ගැන විෂය භාර ඇමැතිවරයා නොව නියෝජ්‍ය ඇමැතිවරයා වහා ප්‍රකාශයක්‌ නිකුත් කර තිබිණි. ඒ අනුව "හදවත" ඇතුළින්ම නැතත් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ බවට සැකකරන බව නියෝජ්‍ය ඇමැතිවරයා
පවසන්නේය.

හබරණ හා උකුවෙල අතර දිවෙන අධිබලැති විදුලි රැහැනක සිදුවූ කාර්මික දොෂයක්‌ සහ බියගම පිහිටි අධිබලැති ට්‍රාන්ස්‌ෆොමරයක සිදුවූ දොෂයක්‌ මේ විදුලි බිඳ වැටීමට හේතු වී ඇති බව සඳහන්ය. 


එවැනි බිඳවැටීමකදී අධිවිදුලිබල ධාරිතාව නැවත සියලු බලාගාර වෙත ඇදී එන බවත් බලාගාර වල පූර්ව ආරක්‍ෂාව සඳහා අදාළ බලාගාර ක්‍රියාවිරහිත වන බවත් කියෑවේ. මේ ආකාරයට විදුලිය බිඳවැටීම නිසා රට පුරා පැය හයකට අධික කාලයක්‌ විදුලිය බිඳවැටී තිබිණි.

මේ විදුලි බිඳවැටීම කිසිසේත්ම සාමාන්‍ය තත්ත්වයක්‌, සුළු කොට හැකි තත්ත්වයක්‌ නොවන බව කිව යුතුය. අවම වශයෙන් පසුගිය පෙබරවාරි 23 වැනිදා පැය හතරක්‌ විදුලිය ඇනහිටි මොහොතේ හෝ ඉදිරිය ගැන යම් සැලසුමකට අනුව කටයුතු කළ යුතුව තිබුණු බව අපේ මතයයි. 


එදවස විදුලිය ඇනහිටියේ ලක්‍ෂපාන විදුලි බලාගාරයේ සිට පොල්පිටිය විදුලිය උපපොළ හරහා කොළඹට විදුලිය ගෙන එන අධි වෝල්ටීයතා විදුලි රැහැන් පද්ධතියේ තාක්‍ෂණික දොෂයක්‌ නිසා බව විදුලිබල මණ්‌ඩලයේ තොරතුරු වාර්තා කර තිබිණි. 

එම විදුලි බිඳවැටීම පිළිබඳව සොයා බැලීමට සහ නැවත එවැනි තත්ත්වයක්‌ ඇතිවීම වළක්‌වා ගැනීමට අවශ්‍ය වාර්තා ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක්‌ පත්කරනු ලැබිණි. 

එමෙන්ම විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යවරයා විසින් ද එවැනි කමිටු දෙකක්‌ පත් කරනු ලැබ තිබිණි. ඉන් එක්‌ කමිටුවක්‌ අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් එකකි. අනෙක්‌ කමිටුව අමාත්‍යාංශයෙන් පිට ආයතනවල සේවය කරන නිලධාරීන්ගෙන් සමන්විතය. එහෙත් මේ කමිටු තුනේම වාර්තා තවමත් එළිදක්‌වා නැත.

රටේ විදුලිය භාවිත කරන ජනතාව හදිසි විදුලි බිඳවැටීම් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරති. එවැනි විදුලි බිඳවැටීමකදී නිශ්චිත කාලසීමාවක්‌ තුළ එය යථා තත්ත්වයට පත් වන බවද බොහෝ දෙනෙක්‌ තුළ විශ්වාසයක්‌ පවතී. 


අලුත්වැඩියා කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම් ද මුලදී දැනුම් දීමට විදුලිබල මණ්‌ඩලය කටයුතු කරති. එහෙත් මේ විදුලිය බිඳවැටීම් ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල්සහගත තත්ත්වයකට ඇද දමන්නකි.

මාර්ග සංඥ පද්ධති අක්‍රියවීම නිසා තදාසන්න බොහෝ නගරවල රථවාහන තදබද ඇතිවේ. පසුගිය ඉරිදා විදුලිය බිඳවැටීම නිසා ආදාහනාගාරවල ආදාහන කටයුතු සිදු කිරීම ද ප්‍රමාද වූ බව වාර්තා විණි.


ඉරිදා දිනයේදී පාසල් සිසු සිසුවියන් ද, රැකියාවල යෙදෙන්නන් ද එළැඹෙන සතියට සූදානම් වන බවද විදුලිය බිඳවැටීම නිසා ඒ බොහෝ දෙනෙක්‌ දැඩි අපහසුතාවට පත් වන බවද අමුතුවෙන් කිව යුතු නැත.

බලාගාර අක්‍රීය වූ පසු විදුලිය ලබාදීම සඳහා නොරොච්චෝල ගල් අඟුරු බලාගාර සක්‍රීය විය යුතු වුවද එය ද අක්‍රීයව පැවතීම විදුලිය බිඳවැටීමට හේතු වී ඇති බව කියෑවේ.

මේ කිසිවක්‌ ජනතාව විසින් ඇති කරනු ලැබූ අර්බුද නොවේ. එහෙත් ඒවාට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ජනතාවටය. විදුලිබල මණ්‌ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්‌වී ඇතැයි කියෑවේ. ඇත්ත වශයෙන්ම ඉල්ලා අස්‌විය යුත්තේ විදුලිබල ඇමැතිවරයාය.

රටේ ජනතාව විදුලිය සමඟ කටයුතු කරන්නේ ඉතා පරෙස්‌සමිනි. ඒ "කරන්ට්‌" වදින නිසා නොව විදුලි බිල ඊට වඩා මාරාන්තික නිසාය. මේ සියලු ප්‍ර්‍රශ්න එන්නේ එතරම් දුකක්‌ විඳින ජනතාවටය.
 
Related Posts with Thumbnails