Ads 468x60px

.

සමාජයට බරක්‌ වන මානසික රෝගීන් බිහිවීම හා නවක වධය...


අදාළ ප්‍රස්‌තුතය ගැන දැනගැනීමට පෙර පහත උපුටනය කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

"මෙම අපරාධය සිදුකර ඇත්තේ නූගත්, බුද්ධි මට්‌ටමින් පහත් තලයක සිටින අය නොවේ. පළමු ශ්‍රේණියේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ දක්‌වාම මහජනයාගේ මුදලින් අධ්‍යාපනය ලබා තව දුරටත්

මහජන මුදලින් අධ්‍යාපනය ලබන උගත් බුද්ධිමත් යෑයි සලකනු ලබන, ඉහළ සමාජ ස්‌ථරයකට ඔසවා තබන ලද පුද්ගලයන් පිරිසක්‌ බව අනාවරණය වෙයි."

මේ උපුටනය වනාහී 2011 වර්ෂයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව එහිදී අති අමානුෂික ලෙස නවක වධයට බඳුන් වූ ශිෂ්‍යයකු වෙනුවෙන් ගොනු කරන ලද නඩු වාර්තාවක කොටසකි. එහි තවත් වැදගත් කොටසක්‌ පසුව දක්‌වමු. ඊට අදාළ කතාව මෙසේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් නවක වධයට භාජනය කරනු ලැබ තිබීම, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ආචාර්ය වරුන්ට තර්ජනය කිරීම හා අපහාසාත්මක ලෙස දොaෂාරෝපණය කිරීම් ඇතුළු කරුණු කිහිපයක්‌ හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් ජ්‍යෙෂ්ඨ සිසුන්ට දේශන හා ප්‍රායෝගික පන්ති පරීක්‍ෂණ පැවැත්වීමෙන් වැළකී සිටීම පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක කරනු ලැබ තිබිණි.

නවක සිසුන් ආදරණීය ලෙස සුහද ලෙස පිළිගැනීම ඔවුන් සමඟ කටයුතු කිරීම වැනි කාරණා "නවක වධ" කතන්දර සමඟ නිතර ඇසේ. නවක වධයට සමාජයෙන් එල්ල වන විවිධ විරෝධතා හමුවේ එවැනි කතා කීවද ඒවා අමු කෙප්ප බව වසරක්‌ පාසා තහවුරු වන්නකි. 


කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය එච්. එම්. සුමතිපාල කියන ආකාරයට නවක සිසුන් අමානුෂික ලෙස නවක වධයට භාජනය කිරීම, නවක සිසුන් දේශනවලට සහභාගි වීම වැළැක්‌වීම ද දිගින් දිගටම සිදුවේ.

කෙනෙක්‌ තවත් කෙනකුට "වධ දෙනවා" යන්නෙහි තේරුම ඒ කවරෙකු වුවද "වධකයකු" යන්නමය. වධය "නවක" වූවාට ක්‍රියාව "නවක" නැත. එය අමු තිරිසන්ය. විකෘත මානසික මට්‌ටමක්‌ ඇති මිනිසෙකුට හැර එතරම් අමානුෂික වීමට කිසිවෙකුටත් නොහැකි බව අපේ විශ්වාසයයි. 


නවක වධයට මුහුණ දෙන සිසුවාත් නවක වධය දෙනු ලබන සිසුවාත් මේ රටේ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලබා රටේ අනාගතය භාරගැනීම සඳහා පෙළගැසුණු පිරිසක්‌ බව නැවත නැවතත් සඳහන් කළ යුතු නැත. එමෙන්ම තමන්ගේ අනාගතය දීප්තිමත් කරන්නට කැපවී සිටින ගුරුවරුන්ට "මැරපාට්‌" පෙන්වීම "තග" දැමීම සිසුවකුගෙන් බලාපොරොත්තු විය නොහැකි දේය.

මේ ගැන අදහස්‌ දක්‌වන මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ විශ්වවිද්‍යාලවලට නවක සිසුන් පැමිණි පසු එම සිසුන් වර්ග කිරීම අනුගත කිරීම සහ හඳුනා ගැනීම සිදුකරන බවය. එමෙන්ම විශ්වවිද්‍යාලවල සංස්‌කෘතික කාරණාවලට අදාළව ශිෂ්‍යයෝ හඳුනා නොගෙන විශ්වවිද්‍යාල තුළ පැවැත්මක්‌ නැති බව ද ඔවුහු පවසති.

මේ හඳුනා ගැනීම සඳහා සිදු කරන බොහෝ දේ නිසා සිසු සිසුවියන් බොහෝ දෙනකු විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර දැමූ බවත්, සිය දිවි නසාගත් බවත්, ආබාධිත වූ බවත් වර්තමානයේ "ජ්‍යෙෂ්ඨයන්" යෑයි කියන අතීතය අමතක කළ "නවකයන්ට" සිහිපත් කර දෙමු.

මහා ශිෂ්‍ය සංගමය කියන "සංස්‌කෘතික කාරණාවලට" අදාළව 1997 වර්ෂයේදී සෙල්ව විනයාගර් වරප්‍රකාශ් මරා දමන්නේ නවක වධයට ලක්‌ කරමිනි. ඒ අදින් දහනව අවුරුද්දකට ඉහතදීය. එදා කලිසම තෙමා ගන්නා වියෙහි සිටි අද "ජ්‍යෙෂ්ඨයන්" වී සිටින බොහෝදෙනකු ඒ ගැන හිතන්නේවත් නැති බව සහතිකය.

2014 වර්ෂයේදී අඟුණකොළපැලැස්‌සේ ඩී. කේ. නිශාන්ත පේරාදෙණි සරසවි භූමියේදී සිය දිවි නසාගන්නේ ද නවක වධය ඔය කියන තරම් "සංස්‌කෘතික" නොවූ නිසාය. "හඳුනා ගැනීම" එතරම් සොඳුරු නොවූ නිසාය. "වර්ග" කිරීම සහ අනුගත කිරීම මැර පන්නයේ එකක්‌ වූ නිසාය. 


ශිෂ්‍ය සංගමය සඳහන් කරන "විශ්වවිද්‍යාල ඇතුළේ සංස්‌කෘතික කාරණාවලට" නිරුවත් කර ලිංගික වධ හිංසා පැමිණවීම අදාළ දැයි මේ ජ්‍යෙෂ්ඨයන් ඉතාම ඉක්‌මනින් වරප්‍රකාශ් සිසුවාගේ යුගයේ ජ්‍යෙෂ්ඨ මැරයන්ගෙන් අසා දැනගත යුතුය. අපට අසන්නට ඇත්තේ, මේ තිරිසන් සංස්‌කෘතික කාරණාවලට විශ්වවිද්‍යාල ආචාර්යවරු එරෙහිවීම තර්ජනය කිරීමට තරම් හේතුවේද යන්න පමණකි.

කාරණය පැහැදිලි කර ගැනීම පිණිස ඉහත උපුටනයේ තවත් කොටසක්‌ දක්‌වමු.

"මෙම අපරාධය ඉතා අශිෂ්ට, පහත් මානසිකත්වයකින් තම ශරීර අවශ්‍යතාවන් ඉටුකර ගැනීම සඳහා සිදුකර ඇති අතර, මෙලෙස කිසියම් පුද්ගලයකුට ශාරීරික හා මානසික වධහිංසා පැමිණවීම මහජන මුදලින් නිදහස්‌ අධ්‍යාපනය ලබන අයගෙන් සිදුනොවිය යුතුය....

නවක වධය ලබාදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල තුළ දරන මතය ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක සිසුන් හඳුනා ගැනීම හා ඔවුන් අතර සුහදතාව ඇතිකර ගැනීම සඳහා සිදුවන්නේ යෑයි කියා ගත්තද ඉන් ශාරීරික හා මානසික වධ හිංසා ඇති වන අතර ඉන් සිසුන් තුළ සුහදතාවක්‌ ඇති නොවේ. 


අවසන් ප්‍රතිඵලය වන්නේ නවක වධයෙන් සමාජයට උගත් බුද්ධිමත් පිරිසක්‌ බිහිවීම නොව, සමාජයට බරක්‌ වන මානසික රෝගීන් බිහිවීමය."
 
Related Posts with Thumbnails