Ads 468x60px

.

ත්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් කටයුතු කළ ලෝක ‍පොලිස්කාරයන්....


සැක කටයුතු දුරකථන ඇමැතුම් කිහිපයක් නිසා කටුනායක ගුවන් තොටු‍ පොළේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව රාජ්‍ය ආරක්ෂක ‍ලේකම් ප්‍රකාශ කළේ යැයි පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය. 

පුද්ගලයන් 34 දෙනකුට මරු කැඳවමින් 200කට ආසන්න පිරිසක් තුවාල කරුවන් කොට බෙල්ජියමේ බ්‍රසල්ස්හි ගුවන් තොටු‍පොළක හා උමං දුම්රිය මාර්ගයක් අසළ සිදුවූ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ප්‍රහාර තුනක්
සම්බන්ධයෙන් ලොවපුරා අවධානය යොමුවී ඇති මොහොතක විවිධ රටවල ප්‍රධාන ගුවන් තොටු‍පොළවලට මෙවැනි නිර්නාමික දුරකථන ඇමැතුම් රැසක් ලැබි ඇති බවද අනාවරණය වේ. 

එවැනි දුරකථන ඇමැතුම් නිසා ඉන්දියාවද, දිල්ලිය ඇතුළු එරට ප්‍රධාන ගුවන් තොටු‍පොළ සියල්ලෙහි ආරක්ෂාව තර කළ බව නිවේදනය කොට තිබේ. ඉන්දියාවේ ඇතැම් ගුවන් තොටු‍පොළවලින් ගුවන්ගත කළ ගුවන්යානා පවා නැවත ගොඩබස්වා පරීක්ෂාවට ලක්කොට ඇත්තේ ඒවායෙහි බෝම්බ ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරු අනුව බව පැවසේ. 

එහෙත් පරීක්ෂණවලදී එවැනි කිසිවක් ගුවන්යානාවලින් සොයාගත නොහැකි වූ බවද ඉන්දීය ගුවන් තොටු‍පොළ බලධාරීහු කියති.

මෙවන් වාතාවරණයක් යටතේ කටුනායකට ලැබුණු නිර්නාමික ඇමැතුම් පිළිබඳවද රාජ්‍ය බුද්ධි අංශය මගින් පරීක්ෂණ පවත්වන අතර, ගුවන් තොටු‍පොළ ආරක්ෂාව තර කිරීමට ගත් පියවර ඉතා කාලෝචිත බව කිව
යුතුය. මන්ද තර්ජනය නිර්නාමික වුව එය නොතකා හැරීමට තරම් ගෝලීය වශයෙන් ලොව කිසිම රටකට අද සුරක්ෂිත වටපිටාවක් නොමැති බැවිනි. 


ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් අත්මිදුණේ වුව තවමත් අපට එරෙහි ත්‍රස්ත සෙවණැලි ලොව තැන තැන හොල්මන් කරන බවද රහසක් නොවේ. අනෙක් අතට අයි.එස්.අයි.එස්. ත්‍රස්තයන් අතර ශ්‍රී ලාංකික පුද්ගලයන් සිටින බවටද තොරතුරු අනාවරණය වූයේ මෑතකය. 

මෙම සියලු සාධක තුළ අනතුරක් කන වැකුණු සැණින් කටුනායක ගුවන් තොටු‍පොළට සුවිශේෂ ආරක්ෂාවක් සැලසීමට රාජ්‍ය ආරක්ෂක බලධාරීන්ගේ කටයුතු කිරීම අතිශය වැදගත්ය. බෝම්බ පුපුරන්නේ කවර රටක වුව ම්‍ලේච්ඡ ත්‍රස්තවාදය ගැන ඇසූ සැණින් තැති ගැනීමට තරම් දිගුකාලීන භයානක අත්දැකීම් ශ්‍රී ලංකාවාසීන් අප්‍රමාණව අත්විඳ තිබේ. 

ත්‍රස්තවාදීන් හදාවඩා නඩත්තු කරමින් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙමින් කටයුතු කළ ලෝක ‍පොලිස්කාරයන්ට පවා අද ත්‍රස්තවාදයේ ‘රස බැලීමට’ සිදුවී තිබිම කවර ඉරණමක් වුව එමගින් මියයන්නේ මිනිසුන් බැවින් අපි බෙල්ජියම් ප්‍රහාරය පිළිබඳව අතිශය ශෝක වන්නෙමු. 

හෙළාදකින්නට නොපැකිළෙන්නෙමු. බෙල්ජියමේ ප්‍රකාශයට පත්කොට ඇති දින තුනක ශෝක කාලයටද එක හෙළා අනුගත වන්නෙමු.

ලොව දරුණුම ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වූ එල්.ටී.ටී.ඊ. යට පමණක් දෙවැනි වන බවට දැනටමත් විදේශ විමර්ශකයන් හඳුන්වන අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට එරෙහි වන සෑම රටකටම ප්‍රහාර එල්ල කරන බවය. 


පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ප්‍රංශයේ පැරිස් නුවර 130 දෙනකු මරණයට පත්කරමින් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු පසුගියදා බෙල්ජියමේදී අත්අඩංගුවට ගැනීම නිසා සිදුකළ බව කියන බෙල්ජියම් ප්‍රහාරය විශාල විනාශයක් සිදු කිරීම සඳහා ඉතා සැලසුම් සහගත හා සූක්ෂ්ම ලෙස සංවිධානාත්මකව කරන ලද්දක් බවට හඳුනාගෙන
තිබේ. 


එය කොතරම් බරපතළ ලෙස ලොවට දැනී ඇත්දැයි යන්න සනාථ වන්නේ අද ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය වැනි රටවල් පවා බෙල්ජියමේ සංචාරය නොකරන ලෙස ඒ ඒ රට වැසියනට නිවේදනය කොට ඇති බැවිනි. 

අප වැනි කුඩා රටවල් මත පමණක් පැටවී තිබුණු ත්‍රස්තවාදය මෙසේ ලොව බලවත් රටවල් පවා ආක්‍රමණය කරන තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සෑම ආරක්ෂිත උපක්‍රමයක් වෙතම අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය බවට තවදුරටත් සාධක අවැසි නොවේ.
 
Related Posts with Thumbnails