Ads 468x60px

.

මින් මතු එවන් අපරාධයක් සිදු නොවන තැනට කවුරුත් දායක විය යුතු බව...


කොටදෙණියාව, බඩල්ගම සේයා සදෙව්මි බක්මීදෙණිය දැරිය කෙලෙසා මරා දැමීම මුළු මහත් රටම සසල කළ දෙයක් විය. එය මෑත කාලයේදී ගැඹුරින් සාකච්ඡාවටද බඳුන් විය. ඇතැමුන් කීවේ 'මෙය තවත් එක් අපරාධයක්!'ය යන්නය. 

තවත් අය කීවේ 'මේ අපරාධය සිදුවීමට ඉඩ ලැබුණේ මවුපියන්ගේ නොසැලකිල්ල නිසා' බවය. තවත් සමහරුන් කීවේ 'මෙවැනි අපරාධ සිදුවීමට උඩගෙඩි දෙන සමාජ හේතු හඳුනා නොගෙන මෙවැනි දේ වැළැක්වීම අපහසු බව'ය.

කෙසේ වෙතත්, සේයා දැරියට හදිකළ, ඝාතනය කළ අපරාධකරු අල්ලා ගැනීම ඉතා හදිසි, කටයුත්තක් වන තරමට සමාජය තුළින් ප්‍රබල හඬක් මතුවිය. පක්‍ෂ, පාට, ජාති, ආගම් හා කුල භේද ඊට තිබුණේ නැත. 


එහෙත් ඒ අතර දේශපාලන හිවලුන් කිහිපදෙනකු කීවේ මෙය 'කලින් සිදු නොවූ විරූ අපරාධයක්! මෙහෙම වෙන්නට ඉඩදිය යුතු නෑ! මේවාට
පාලකයන් වගකිව යුතුයි!' යන කරුණු ඉස්මතු කරමින්, ගිලිහී ගිය පාලනයේ අසිරිමත් බව කියාපාන්නටද උත්සාහ කළ අවස්ථාද එමට විය.

එහෙත් එහෙයියන් නොවූ, සිහිබුද්ධිය ඇති ජනතාව ඉල්ලා සිටියේ යුක්තිය හා සාධාරණය ඉටු කෙරෙන පරීක්‍ෂණයක් හා රටම බලාසිටින අධිකරණ තීන්දුවක් දක්වා ගොස් සේයා දැරියගේ ඝාතනය 'තවත් එක් ඝාතනයක්!' ලෙස කාලයේ වැලිතලාවන්ට හසුව මැකී යන්නට ඉඩ නොදෙන ලෙසටය.


වැරැදි සහගත අශිෂ්ට පාලන තන්ත්‍රයක් කාලාන්තරයක් පැවැතීම හේතුවෙන් දිගින් දිගටම දූෂණයට හා අකාර්යක්‍ෂමතාවට ලක්වූ පොලිසියක් මඟින් යුක්තිය ඉටු කර ගැනීම අපහසු කරුණක් විය.

මෙරට පොලිසිය තුළද 'වෙනස්වීමට අකැමැති, යුක්තිය ඉටු කරන්නට පසුබාන' පිරිස් වීම නිසා සේයා ඝාතකයන් සෙවීම අයාලේ යන, හිතුමතේට වරදකරුවන් මැවීමේ ක්‍රමවේදයක් ඔස්සේ දිවයන්නට විය. 


ඒ අනුව 'සේයා ඝාතනය කළේ ඇගේ පියාමයි', 'සේයා ඝාතනය කළේ කොණ්ඩයා', 'කොණ්ඩයාද? පාසල් සිසුවාද?' වැනි ප්‍රශ්න මතු කරමින් පොලිසියේ ඇතැම් නිලධාරීන් වැඩේ අනන්නට පටන් ගැනීම නිසා ජනතාව සිතන්නට පටන් ගත්තේ 'කවුරු හරි අහිංසකයකු අල්ලලා එල්ලයි. වැරැදිකාරයා හැංගෙයි' යනුවෙනි. 

ඒ දිනවල සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ අදහස් කියැවූ ඇතැමුන් ප්‍රකාශ කළේ 'ඇත්තටම නීතිය හරි හැටි ඉටු කරන යහපත් රටක් බිහි කරන්න බැරිද?' යන ප්‍රශ්නාර්ථය මතු කරමිනි.

අවසානයේදී දැරියගේ පියාගෙන් පටන්ගෙන කොණ්ඩයා, පාසල් සිසුවා හරහා එල්ල කෙරුණු 'පොලිසියේ සැකය' 'ඉලන්දාරිපේඩිගේ සමන් ජයලත්' යන කොණ්ඩයාගේ අයියා පාපෝච්චාරණයක් කරන තුරුම නිනවුවක් නැති පොලිස් පරීක්‍ෂණයක් විය. 


අවසානයේ කොණ්ඩයා, අසල්වැසි විවාහකයා හා පාසල් සිසුවා පොලිස් තාඩන පීඩනවලින් හප කළ පසුව නිදහස් වී ඉන් මතුවූ තත්ත්වය නිසා පීඩාවට පත් වූවන් ශේ්‍රෂ්ඨාධිකරණයට 'අයිතිවාසිකම් කඩ වුණා' යැයි කියමින් පෙත්සමක් ගොනු කරන තරමට තත්ත්වය ඇදී ගියේය.

එහෙත් 'කොණ්ඩයාගේ අයියා වරද පිළිගත්තත් නීතිය හරිහැටි ක්‍රියාත්මක වෙන එකක් නෑ' යන මතය නොවෙනස්ව තිබිණි. ඇතැම් මාධ්‍ය සේයා මළ පසු ඒ පිළිබඳ සිදුවීම් සමාජ ආචාර ධර්ම අතික්‍රමණය කරමින් 'දැරිය මාධ්‍ය ඉදිරියේ තවදුරටත් දූෂණය වුණා!' යැයි කියැවෙන අන්දමේ හැසිරීමක් පළ කෙරිණි. 


කෙසේ වෙතත් සමාජයෙන් මතුවූ ප්‍රබල හඬ නැඟීමත් යහපත් මාධ්‍ය භාවිතය සිදු කළ අයගේ කරුණු දැක්වීමත් නිසා පොලිසියේ රාජකාරිය වැරැදි ලෙස කරන්නට ඉඩ නොලැබෙන තත්ත්වයක් මතු විය.


'සේයාගේ නඩුව' වාර්තා කරද්දී එය කියවූ පිරිස් තුළ තිබූ 'නිසි දඬුවම් ලැබේවිද?' යන කුකුස එසේම තිබීම සුවිශේෂ තත්ත්වයකි. එහෙත් ඊයේ මීගමුව මහාධිකරණයෙන් සේයා ඝාතනයේ 'සැබෑ ඝාතකයා'ට මරණ දඬුවම හිමි විය. එසේම එය කොතෙක් දරුණු අපරාධයක් දැයි පිළිබිඹු කරමින් ඝාතකයාට තවත් දඬුවම් කිහිපයක්ද නියම කොට තිබිණි. 


ඒ අනුව දැරිය පැහැරගෙන යෑම වෙනුවෙන් වසර 20ක සිරදඬුවමක් හා රු. 10,000ක දඩයක්ද, දඩය නොගෙවන්නේ නම් වසරක තවත් සිර දඬුවමක්ද, දැරිය දූෂණය කිරීමට වසර 20ක සිරදඬුවමක් හා රු. 10,000ක දඩයක්ද, එය නොගෙවන්නේ නම් තවත් වසරක සිදඬුවමක්ද, බරපතළ ලිංගික අපයෝජනය සඳහා වසර 20ක සිරදඬුවම් හා රු. 25,000ක දඩයක්ද එයද නොගෙවන්නේ නම් තවත් වසර 2ක්ද දැරිය ඝාතනය කිරීම නිසා මරණ දඬුවමද නියම කෙරිණි.

වරදට දඬුවම් කිරීම නීතියට අනුව සිදුවෙතත් බන්ධනාගාරය තුළදී එල්ලා මරා දැමෙන ක්‍රියාවලිය සිදු නොවන තත්ත්වයක් තුළ චූදිත සමන් ජයලත් මේ අනුව මියයන තුරුම නිදහසක් නොලැබ සිතින් මියයෑම වැළැක්විය නොහැක්කකි. 


එබැවින් මෙහිදී යුක්තිය ඉටු කර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ සකලවිධ ජනතාවටත්, නීතිය හරිහැටි ඉටුකළ ඇත්තන්ටත්, නීතිගරුක පුරවැසියන් වශයෙන් ඉදිරිපත් වූවන්ටත් ගෞරවාදරය පුද කළ යුතුය. 

මින් මතු එවන් අපරාධයක් සිදු නොවන තැනට මේ ජන සමාජය ඔසවා තැබෙන අරගලයකට මේ කවුරුත් දායක විය යුතු බවද සිහිකටයුතුය.
 
Related Posts with Thumbnails