Ads 468x60px

.

ධනය සමව බෙදා ගන්නට හැකි දේශපාලනඥයන් රොත්තක්‌ අපට සිටින බව...

ලොව "සතුටින්ම" සිටින රටවල් පිළිබඳව ලෝක දර්ශකයේ 117 වැනි ස්‌ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව අපි "සතුටින්" සටහන් කරමු. 

සතුටින් සිටීමේ ලෝක දර්ශකය සකස්‌ කරන්නේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයයි. 

පසුගිය වසරේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 132 වැනි ස්‌ථානයයි. මේ වසරේ දර්ශකය තුළ 117 වැනි ස්‌ථානය දක්‌වා ඉහළ නැඟීමට හැකිවීම ගැන අප "සතුටු" විය යුතුය. ඒ සතුට දෙගුණ තෙගුණ වන්නේ ලොව ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක්‌ම එහි මුල්තැන ගෙන සිටිනු දකින විටය. 

ලොව සතුටින්ම සිටින රටවල් අතර අංක එක වන්නේ ඩෙන්මාර්කයයි. ඊට පසු පිළිවෙළින් අයිස්‌ලන්තය, නෝර්වේ, ෆින්ලන්තය, කැනඩාව,
නෙදර්ලන්තය, නවසීලන්තය, ඔස්‌ටේ්‍රලියාව සහ ස්‌වීඩනය යන රටවල් ඒ අතරට එක්‌වේ.

අප සතුටින් සිටින බව ඇසීමත් එක්‌ අතකින් සතුටට කාරණයකි. ඊට හේතුව බැලූ බැල්මට එහෙමටම සතුටු වන්නට හැකි කාරණා පෙනෙන්නට නැති නිසාය. පාර තොටේ උද්ඝෝෂණයක්‌ නැති දවසක්‌ හොයාගන්නට බැරි තරම් ය. 


ඒ උදවිය පාරට බැස බෝඩ් කෑලි උස්‌සාගෙන උද්ඝෝෂණය කරන්නේ අහවල් සතුටක්‌ නිසාදැයි අපට නම් තේරෙන්නේ නැත. ඉතාම සාධාරණ හේතුවකට පිකටිං කරන පිරිසකට කඳුළු ගෑස්‌ ගසා, ඔලු පලා පලවා හැරීම කාගේ සතුටක්‌ වෙනුවෙන් සිදුවන්නේ දැයි අපි නොදනිමු. 

එවැනි උද්ඝෝෂණයකට පහර දෙන පොලිසියේ උදවිය කොතරම් දුරට සතුටු වනවා දැයි අපි නොදනිමු.

ගොවියාගේ පොහොර සහනාධාරය කප්පාදු කිරීම කාගේ සතුටට හේතුවන කාරණයක්‌ දැයි අපට පැහැදිලි කර දෙන මෙන් වගකිව යුතු අයගෙන් අප කාරුණිකව ඉල්ලා සිටිමු. පොහොර සහනාධාර කප්පාදුවටත්, සාධාරණ මිලකට වී අලෙවි කරගැනීමටත් පාරට බැස කට්‌ට අව්වේ කෑගසමින් උද්ඝෝෂණය කරන ගොවීන්ගේ "සතුට" කුමක්‌දැයි අපට තේරෙන්නේ නැත.

2013 වර්ෂයේ මුල් මාස එකොළහ කාලය තුළ වයස අවුරුදු 16 ට අඩු තරුණියන් 1501 ක්‌ ස්‌ත්‍රී දූෂණවලට ලක්‌ව තිබේ. සමස්‌ත ස්‌ත්‍රී දූෂණ ප්‍රමාණය 1854 කි. ඒ අනුව 2015 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ සෑම මාසයකදීම ස්‌ත්‍රීන් 168 කට ආසන්න පිරිසක්‌ දූෂණයට ලක්‌ව තිබේ. එය මාසයේ දින ගණනටත් වඩා වැඩි ප්‍රමාණයකි. ඉතිං අප "සතුටු" විය යුතුද?

රටේ අපරාධ සිදුවීම් ශීඝ්‍රයෙන් වැඩිවී තිබේ. පාතාල සාමාජිකයන් හෝ කවර හෝ කණ්‌ඩායම් අතර වෙඩි තබා ගැනීම්, ඝාතනය කිරීම් ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. ලේ වැකුණු තොරතුරු නිතිපතා වාර්තා වේ. මේවා අපට "සතුටු" විය හැකි කාරණා ද?

මතින් තොර රටක්‌ වෙනුවෙන් "වැඩමුළු" තබා සූදානම් වන අපේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් බුරුතු පිටින් අත්අඩංගුවට ගනිති. එහෙත් රට පුරා "කුඩුකාරයන්" ය. මේ ගැන අප සතුටු විය යුතු ද?

නැති බැරි මොහොතේ බොටුව හිරවෙන ලෙසට ම බදු බර වැඩි කර තිබේ. තුන්වේල කන්නේ අමාරුවෙන්ය. දරුවන් සිටින පවුලක අම්මා, තාත්තා, ආර්ථික අපහසුකම් නිසා ඒ දරුවන්ගේ වැඩකටයුතු වෙනුවෙන් දහදුක්‌ විඳිති. මේ ගැන සතුටක්‌ ඇත්තේ කාටද?

"සතුටු" දර්ශකය සකස්‌ කරන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ උදවිය කියන්නේ "සෞඛ්‍ය පහසුකම්" හා "ධනය බෙදී යැමේ" අසමතුලිතතාව "අසතුට" වර්ධනය කිරීමට බෙහෙවින් බලපාන බවය. අපේ රටේ මේ කාරණා ගැන අපට සතුටු විය හැකිද?

ඉතිං අපට හිත හදා ගන්නට වන්නේ, සිsංගප්පූරුවේ සෞඛ්‍ය පහසුකම් ලබන්නටත්, ධනය "සමව" බෙදා ගන්නටත් හැකි "දේශපාලනඥයන්" රොත්තක්‌ අපට සිටින බව සතුටින් සිහිපත් කරමිනි.
 
Related Posts with Thumbnails