Ads 468x60px

.

කවුරු කවුරුත් දරුවන් වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව...


පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන කලාප ක්‍රීඩා උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හා වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස්‌ බව අනාවරණය වේ. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 38 දක්‌වා ඉහළ යැමට නියමිතය. ඒ නිසාම වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ අධික අව් රශ්මියට පාසල් දරුවන්
නිරාවරණය කිරීම සෞඛ්‍යයට අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකි බවය. 

ඒ ගැන රටේ ජනතාවට ද වැටහීමක්‌ ඇති බව නිසැකය. පවතින අධික උෂ්ණාධික කාලගුණය නිසාම කුඩා දරුවන් විනාඩි 20 ක්‌ පමණ ජලයේ තැබීම යෝග්‍ය බවද පසුගිය දිනෙක වෛද්‍යවරුන් පිරිසක්‌ පවසා තිබිණි. ඒ නිසාම අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය වඩාත් කාලෝචිත සහ ඥනාන්විත පියවරක්‌ බව කිව යුතුය.

සාමාන්‍යයෙන් කලාප තරග අප්‍රේල් මාසයේ මුල වන විට අවසන් විය යුතුය. මැයි සහ ජුලි අතර කාලයේ පළාත් තරග පවත්වා අවසන් විය යුතුය. ඊට හේතුව පාසල් වාර විභාග මෙන්ම අපොස උසස්‌ පෙළ විභාගය ද පැවැත්වීමට නියමිත හේතුව නිසාය. එහෙත් "අත්‍යාවශ්‍ය පියවර" නිසා මේ කලාප තරග සහ පළාත් තරග සියල්ල තවදුරටත් ප්‍රමාදවීම වැලැක්‌විය නොහැකි කාරණයකි.

එහෙත් මේ "අත්‍යවශ්‍ය තීන්දු තීරණ" ගැන නිවැරැදි දැක්‌මකින් කටයුතු කරන තකතීරු පිරිසක්‌ ද සිටින බව පෙනෙන්නට තිබේ. හොඳම හා වැදගත් උදාහරණයක්‌ අපට දැක්‌විය හැකිය. 


ඒ මේ අවදානම් තත්ත්වය ගැන කිසිසේත්ම සැලකිල්ලක්‌ නොදක්‌වා ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී බොරැල්ල අධ්‍යාපන කලාපයේ කලාප ක්‍රීඩා තරග පැවැත්වීමය. මෙහිදී මේ තරග සංවිධානය කළ අයට දිය හැකි පහසු පිළිතුරක්‌ තිබේ. 

ඒ, ක්‍රීඩා තරග නොපැවැත්වෙන බව අදාළ පාසල්වලට දැනුම් දීමට හැකියාවක්‌ නොතිබුණු බවය. එහෙත් මේ තරග සංවිධාන කරන අය දැනුම් තේරුම් ඇති, හොඳින් ඇස්‌ කන් පෙනෙන ඇසෙන අය බව අපි විශ්වාස කරමු. ඊට හේතුව, කලාප තරග කල්දැමීම පිළිබඳව ප්‍රවෘත්තිය ඊයේ බොහෝ පුවත්පත්වල පළවී තිබුණේ පොල්ගෙඩි අකුරින් වීමය. 

අවම වශයෙන් එය ලුහුඬු දැන්වීමක්‌ ලෙස ඇතුල් පිටුවක පළවී තිබියේ නම් යම් තරමක සාධාරණ සමාවක්‌ දිය හැකිව තිබිණි. එවන් මොහොතක වහාම ක්‍රියාත්මක වන පරිදි තරග අවලංගු කිරීමට වුව අදාළ බලධාරීන්ට හැකියාව තිබිණි.

එවැනි තීරණයකට එළැඹීම අත්‍යවශ්‍ය කරුණක්‌ වන්නේ මෙය "දරුවන්" පිළිබඳව ප්‍රශ්නයක්‌ නිසාය. පසුගිය දිනෙක උෂ්ණත්වය දරාගත නොහැකිව මාදුරුඔය හමුදා කඳවුරේදී හමුදා සෙබළකු මියගොස්‌ තිබිණි. 


දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දීමට පවා පුහුණුවක්‌ ලබන හමුදා සෙබළකු සම්බන්ධයෙන් තත්ත්වය එබඳු නම් දරුවන් සම්බන්ධයෙන් කවර කතාද? මැති ඇමැතිවරුන්ට හිරු රශ්මිය වැටෙන නිසා නිදහස්‌ උත්සවය ද කොටස්‌ දෙකක්‌ වශයෙන් සංවිධානය කිරීමට කටයුතු කළ බව අමතක නොකළ යුතුය. 

මැති ඇමැතිවරුන්ට එසේනම් දරුවන් සම්බන්ධයෙන් කවර කතාද? 

ක්‍රීඩකයන් ගැන කතා පසෙකින් තබමු. ක්‍රීඩා තරග පැවැත්වෙන මොහොතක සරඹ සංදර්ශනය සඳහා යොදා ගැනෙන්නේ කුඩා දරුවන්ය. විනාඩි 20 ක්‌ ජලයේ රඳවා තැබිය යුතු යෑයි විශේෂඥ වෛද්‍යවරු කියන විට කුඩා දරුවන් පිටියට කැඳවාගෙන ඒම අත්තනෝමතිකය. 

ක්‍රීඩාවේදී ජලය පානය කිරීම අත්‍යවශ්‍යය. සරඹ සංදර්ශනවලදී ද එහි වෙනසක්‌ නැත. බොහෝ පාසල්වල මේ ගැන වගකිව යුතු අයගේ සැලකිල්ල යොමු නොවන කාරණයක්‌ බව කිව යුතුය. 

ඒ ගැන දරුවන්ට දැනුමක්‌ නැත. මේ දිනවල පවතින වියළි කාලගුණයෙන් වැඩියෙන්ම ආරක්‍ෂා කරගත යුත්තේ දරුවන් බවට චර්ම රෝග විශේෂඥයන් හා ළමා රෝග විශේෂඥයන් දැනුම් දී තිබේ. 

දුහුවිලි අංශු පරිසරය පුරා පැතිරීමත් සමඟින් එළිමහනේ ක්‍රීඩා කරන දරුවන්ගේ සම මත බිබිලි හටගැනීම, අව් රශ්මියට ඒවා මත දැවිල්ලක්‌ හටගැනීමෙන් කැසීම නිසා ඇති වන තුවාල ආදී තත්ත්වයන් මතුවිය හැකි බවද වෛද්‍යවරු කියති. 

එමෙන්ම දරුවන්ට වෙනදාට වඩා ජලය ලීටරයක්‌ පමණ වැඩිපුර පානය කරවීමද යෝග්‍ය බව ඔවුහු කියති. අධික උෂ්ණාධික තත්ත්වය නිසාම මැලේසියාවේ පාසල් වසා දැමූ බවද වාර්තා වේ. 

ක්‍රීඩා තරග කල් දැමීම ගැන ඊයේ වන විට චක්‍රලේඛයක්‌ නිකුත් වී තිබුණේ නැත. එහෙත් අප කියන්නේ චක්‍රලේඛ ගැන නොසිතාම හෝ කවුරු කවුරුත් දරුවන් වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බවය.
 
Related Posts with Thumbnails