Ads 468x60px

.

මින් පසු 'තොරතුරු දැන ගන්නේ' කොහොමද..?


ජනතාව පත්තර බලන්නේ තොරතුරු දැන ගන්නට ය. තොරතුරු දැන ගැනීම ජනතාවට ඇති අයිතියක්‌ බව වත්මන් ආණ්‌ඩුවේ බොහෝ උදවිය කීවේ 2015 ජනවාරි 08 වැනිදාට පෙර සිට ය. 

තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පනතක්‌ ගෙන එන බව එම ජනවාරි 08 වැනිදාට පෙර බොහෝ සේ අසන්නට ලැබිණි. 2015 අප්‍රේල් වන විට එය හදිසි පනතක්‌ ලෙස විගණන පනත ද සමඟ
පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඒ දිනවල කියෑවිණි.

කෙසේ හෝ දැන් කරළියට පැමිණ තිබේ. තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත කියවන අපට හැඟෙන්නේ, තොරතුරු දැන ගැනීම යෑයි ආණ්‌ඩුව අදහස්‌ කරගෙන (වැරැදි වැටහීමක) සිටින්නේ ආණ්‌ඩුවේ 'ගැසට්‌ පත්‍රය' ගැන බවය. එසේත් නැත්නම් තවදුරටත් අපේ රටට 'පත්තර' අවශ්‍ය නොවන බව ය. 


ජනතාව බලා සිටියේ ආණ්‌ඩුව ගෙන එන්නේ ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරන, සුරක්‍ෂිත කරන පනතක්‌ ගෙන එනතුරුය. එහෙත් පනත් කෙටුම්පත කියවන කෙනකුට තේරෙන්නේ මෙය තොරතුරු දැන ගැනීමට වඩා තොරතුරු 'වසන් කිරීම' සඳහා ගෙන එන ලද පනතක්‌ හැටියටය. පනත ගෙන එන්නට අවුරුද්දක්‌, දෙකක්‌ තිස්‌සේ 'කට්‌ට කෑ' උදවිය ඒ ගැන කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 14 (අ) ව්‍යවස්‌ථාව මගින් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර තිබේ. මධ්‍යම ආණ්‌ඩුවේද, පළාත් සභා හා පළාත් පාලන ආයතන ද ඒවා යටතට ගැනෙන දෙපාර්තමේන්තු, සංස්‌ථා සහ මණ්‌ඩලවල තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව රටේ ජනතාවට ලැබෙන්නේ ඒ අනුවය. එහෙත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්‌ කිරීමට නියමිත මෙම කෙටුම්පත මගින් එම අයිතිය සියයට සියයක්‌ තහවුරු වන බවක්‌ පෙනෙන්නට නැත.

පනතට අනුව බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරීමට අදාළ තොරතුරු, බදු පැනවීම හා භාණ්‌ඩ සහ සේවාවල මිල ස්‌ථාවරව පවත්වා ගැනීම, පාලනය සහ ගැලපීම, කුලී සහ අනෙකුත් පිරිවැය හා වේතන අනුප්‍රමාණ වැටුප් සහ අනෙකුත් ආදායම් පිළිබඳ තොරතුරු ද යමෙකු ඉල්ලා සිටියහොත් ඒවා හෙළි කිරීම වරදකි. 


අධිකරණයට අපහාස වන (දැනටමත් එවැනි තොරතුරු හෙළි කිරීම හෝ තොරතුරු ඉල්ලා සිටීමක්‌ සිදුවන්නේ නැත.) තොරතුරු හෙළි කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන තොරතුරු හෙළි කිරීම, විභාගවලට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත අවස්‌ථාවක ඒවා හෙළි කිරීම, ජාත්‍යන්තර ගිවිසුම් හා බැඳීම් පිළිබඳ තොරතුරු හෙළි කිරීම ද වරදකි.

මේ භයානක 'වරද' කරන අයට දෙන දඬුවම ද තරමක්‌ සැරය. මේ 'තහනම්' තොරතුරු හෙළි කරන සෑම තැනැත්තෙකුම මහෙස්‌ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර වසර දෙකක සිර දඬුවමක්‌ නියම කළ හැකි අතර, වරදකරු රුපියල් පනස්‌දහසක දඩයකට ද යටත් වේ. යම් හෙයකින් දඩය සහ සිර දඬුවම් යන දඬුවම් දෙකම පැනවීමේ හැකියාව ද ඇතැයි පනත් කෙටුම්පතෙහි සඳහන් ය.

එහෙත් මේ කියන බොහෝ තොරතුරු හෙළි කිරීම වරදක්‌ වන්නේ කුමන නිර්ණායකයන් යටතේ ද යන්න පැහැදිලි නැත. රටේ ජනතාව අනිවාර්යයෙන් ම දැන ගත යුතු බොහෝ කාරණා පසුගිය කාලයේ සැඟව තිබූ බව කියන්නේ වත්මන් ආණ්‌ඩුවමය. 


එමෙන්ම මේ වන විට විවිධ පුද්ගලයන්ට එරෙහිව නැඟෙන චෝදනාවලදී බොහෝ දෙනා මයිල් කෙලින් කරගත්නෙත්, දෙවරක්‌ නොසිතා යම් යම් පුද්ගලයන් වැරදි බවට හංවඩු ගසන්නෙත් මේ තොරතුරු දැන ගැනීමේ අවුල නිසා ය. 

රටේ ජනතාව තොරතුරු දැන ගැනීම විවිධ දූෂිතයන් මෙන්ම අක්‍රමිකතාවන් හෙළිදරව් වීම ද සිදු වේ. සැබෑ ලෙසම තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කළ විට අමාත්‍යාංශ සහ සියලු රජයේ ආයතනවල විනිවිද භාවයක්‌ ඇති වේ.

මේ පනතට අනුව රටේ තුප්පහි දේශපාලනඥයන් කරන දූෂණ, වංචා, යටිමඩි ගැසීම්, රටට අහිතකර හොර ගිවිසුම් (ජාත්‍යන්තර බැඳීම් හා ගිවිසුම් හෙළිකිරීම වරදක්‌ බව පනතේ කියා තිබේ.) විභාග වංචා, හෙළිකිරීම ගැන ජනමාධ්‍යයට දෙවරක්‌ සිතන්නට සිදු වේ. 


අපට තිබෙන ප්‍රශ්නය කෝප් කමිටුව, දූෂණ විරෝධී පෙරමුණ මේ ආණ්‌ඩුව බලයට ගෙන ඒමට ක්‍රියා කළ සිවිල් සංවිධාන, මින් පසු 'තොරතුරු දැන ගන්නේ' කොහොමද කියන එකය.
 
Related Posts with Thumbnails