Ads 468x60px

.

මේ "හදිසිය" හැමදාමත් තිබිය යුතු එකක්‌ බව...


රටපුරා සිදුවන අපරාධවල වර්ධනයක්‌ පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. අපි බොහෝ වාරයක්‌ ඒ ගැන කතා කර ඇත්තෙමු. අපරාධ වර්ධනයට සාපේක්‍ෂව අපරාධකාරයන්ගේ වර්ධනයක්‌ද පෙනෙන්නට තිබේ. ඒ ගැන සහතික විය හැකි ප්‍රවෘත්තියක්‌ ඊයේ පුවත්පත් වල පළවී තිබිණි. 

ඒ, රටපුරා ලියාපදිංචි අපරාධකාරයන් (අයි. ආර්. සී) 45171 දෙනකු සිටින බවය. මේ ලියාපදිංචි අපරාධකාරයන්ගෙන් 975 දෙනෙකු
කාන්තාවන්ය. මේ තොරතුරු ලැබී ඇත්තේ පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ගවලින් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැක.

ලියාපදිංචි අපරාධකාරයන් යෑයි කියන්නේ සමාගම් දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් රජයේ ආයතනයක "ලියාපදිංචි" වී අපරාධ කරන උදවියට යෑයි වරදවා වටහා නොගන්නා ලෙස තවමත් ඒ ගැන අවබෝධයක්‌ නැති කවරකුගෙන් හෝ වේවා අපි ඉල්ලා සිටිමු. 


එහෙත් මේ කියන පිරිස "ලැයිසන්" ලත් චණ්‌ඩි ලෙස හැසිරෙන දාමරිකයන්ය. පොලිස්‌ පොතේ ලියෑවී ඇති පරිදි (ලියාපදිංචි වී ඇති පරිදි) මේ දාමරිකයන් ගෙවල් බිඳුම්, කොල්ලකෑම්, මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් සහ වැරදිකරුවන් වූ අය වෙති. 

එම පොලිස්‌ ආරංචි මාර්ගවලින් කියෑවෙන ආකාරයට මේ ලියාපදිංචි අපරාධකරුවන්ගෙන් පිරිසක්‌ බන්ධනාගාරගතව සිටිති. එහෙත් වැඩි පිරිසක්‌ සිටින්නේ සාමාන්‍ය ජනතාව අතර බවද එම ආරංචි මාර්ගවලින් කියෑවේ.

ලැයිස්‌තුගතව සිටින මේ දාමරිකයන්ගෙන් වැඩිදෙනා සාමාන්‍ය ජනතාව අතර සිටින බව "කවුරුන්" හෝ දැන සිටීමත් වාසනාවට කාරණයක්‌ බව කිව යුතුය. එහෙත් පොඩි ප්‍රශ්නයකට තිබෙන්නේ පසුගිය කාලයේ අපරාධ වැඩිවීමට හේතුව දැනගත්තත් නොදන්නා ගාණට සිටීමද යන්නය. අපට එසේ සිතන්නට සාධාරණ හේතු තිබේ. 


රට පුරා මිනී මරාගන්නා විට, මංකොල්ලකෑම් වැඩිවනවිට දිගින් දිගටම ඒ ගැන සොයා බලන්නට යෑයි රටේ ජනතාවත්, මාධ්‍යයත් හඬගා කියද්දී ත් ඒ ගැන කිසිවෙකුටත් ඇසුණු බවක්‌ පෙනුණු බවක්‌ අප දුටුවේ නැත.

වගකිවයුතු සියලු දෙනාම තක්‌කු මුක්‌කු වී වැඩට බැස්‌සේ ජනාධිපති වරයාත් - අගමැතිවරයාත් වැඩේට අතගැසූ විටය. දැන් හදිසි කාර්යයක්‌ ලෙස සලකා බොහෝ තොරතුරු ගැන විමර්ශනය කරන බව වාර්තා වේ.


පසුගිය 07 වැනිදා (සඳුදා) වන විට පාතාල මදාවියන් මර්දනය කිරීම සඳහා පත්කර සිටින විශේෂ පොලිස්‌ ඒකකය, පාතාල කල්ලි නායකයන් ඇතුළු පාතාල ලෝකයට සම්බන්ධ අපරාධකරුවන් 175 දෙනකුගේ නම් ලැයිස්‌තුවක්‌ සකස්‌ කරන්නේ මේ කඩිමුඩිය නිසාය.

ඇත්ත වශයෙන්ම, අපි කල්පනා කරන්නේ මේ "හදිසිය" හැමදාමත් තිබිය යුතු එකක්‌ බවය. එමෙන්ම අප්ඩේට්‌ (යාවත්කාලීන) විය යුතු බවය. අයි. ආර්. සී. කාරයන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක්‌ සිටින බවත්, දරුණු ගණයේ පාතාල කල්ලි නායකයන් සහ ගෝල බාලයන් එකසිය හැත්තෑපස්‌ දෙනකු සිටින බවත් දැන සිටි සියලුම වගකිවයුතු අංශවල නිලධරයන් හා බලධරයන් මේ සංඛ්‍යාලේඛන වලට අනුව වැඩ නොකළේ ඇයි? 


ඒ සඳහා අපට හේතු දෙකක්‌ ඉදිරිපත් කළ හැකිය. පාතාලය කිරිපොවා හදා වඩා ගැනීමේ අපකීර්තිමත් ඉතිහාසයට අනුව, දේශපාලනයට (සමහර දේශපාලනඥයින්) පාතාලය අත්‍යාවශ්‍ය සාධකයක්‌ බවට පත්ව තිබේ.

ඒ අනුව පාතාල මර්දනය කිරීමට එරෙහිව සමහර දේශපාලනඥයන් බලපෑම් එල්ල කරනවා වන්නට පිළිවන. ඒ එක කාරණයකි. වරින්වර අසන්නට ලැබුණු තොරතුරු අනුව පොලිසියේම සමහර උදවිය (පාතාලයට උදවු දෙන) මේ වැඩේ කඩාකප්පල් කරනවා ඇතැයි අපි සිතමු. ඒ දෙවැනි කාරණයයි.

දැන් ඒ සියලු "සැක සහිත" කාරණා අමතක කරන්නට අප සූදානම්ය. හේතුව මේ වනවිට ඊට විධිමත් වැඩපිළිවෙළක්‌ සකසන බව පෙනෙන්නට තිබීමය. පොලිස්‌ ස්‌ථානවලට යළිත් බුද්ධි අංශ ඒකක කැඳවීම කාලෝචිත හා ප්‍රායෝගික පියවරකි. 


පාතාල මර්දනය සඳහා යුද හමුදාපතිවරයාගේ මෙහෙයවීමෙන් විධිමත් සැලසුමක්‌ සකස්‌ කරන බවද කියෑවේ. විශේෂ කාර්ය බළකාය ඊට එක්‌වීමට නියමිතය. ඉතිං පාතාල කතාව මීටත් වඩා එහාට යැමට අවශ්‍ය නැත. සිතිය යුත්තේ එල්.ටී.ටී.ඊ. ය පැරද වූ අපට මේවාත් වැඩද? යනුවෙන් පමණකි.
 
Related Posts with Thumbnails