Ads 468x60px

.

"පාන් පිටි" වලට එරෙහි අමුතු සටනක්‌....?


බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති "වස විස නැති රටක්‌" ජාතික වැඩසටහනේ දෙවැනි දින සමාරම්භක උත්සවයට එක්‌වෙමින් ජනාධිපතිවරයා වැදගත් කාරණයක්‌ අනාවරණය කර තිබිණි. ඒ 2015 වර්ෂයේදී මේ රටේ ජනතාව පාන් පිටි මෙටි්‍රක්‌ ටොන් එකොළොස්‌ ලක්‍ෂ පනස්‌දහසක්‌ ආහාරයට ගෙන ඇති බවය.

එපමණ ප්‍රමාණයක්‌ පාන් පිටිම කෑ ජනතාවට මේ කතාව අලුත්ම අලුත් දෙයක්‌ නොවේ. එමෙන්ම පුදුමයට කාරණයක්‌ද නොවේ.

සවස්‌ වරුවේ පමණක්‌ නොව සමහර විට උදේටත් දහවලටත් ක්‍ෂණික කෑම කඩ, බේකරි කඩවල පිරී සිටින සෙනග කන්දරාව ඊට සාක්‍ෂිය. බතක්‌ ලිප තියාගන්නට තරම් කාලයක්‌ නැතිවා මෙන් (කාර්ය බහුල

සමාජ රටාවේ ඇත්තම කතාවද එය විය හැකිය.) බොහෝ පිරිසක්‌ "පිටි කෑම" සඳහා පෙළ ගැසී සිටිති. ප්‍රශ්නය වන්නේ මේ පිටි කෑමම නොවේ. 

පිටි වෙනුවට ආදේශ කළ හැකි හොඳම දේ, අපේ රටේ වැවෙන ගුණ දේ ජනතාව ප්‍රතික්‍ෂේප කරන්නේ කවර හේතුවක්‌ නිසාද යන්නය. ඇත්ත වශයෙන්ම ප්‍රශ්නය වන්නේ පාන් පිටි කෑමම නොව, හෙළයට හුරු "බත" ගැන වගකිවයුත්තන් දක්‌වන අඩු සැලකිල්ලය. 

"බතට" කුඩම්මාගේ සැලකිලි ලබාදී "පාන් පිටි" ආදරය වැඩිවන ආකාරයට කටයුතු කළ විට මීට වඩා දෙයක්‌ බලාපොරොත්තු විය නොහැකිය.

බත සපයාගත හැකි සහල් තොග ගණනින් බියර් පෙරීම සඳහා විකුණන විටත්, සහල් තොග ගණනින් ගබඩාවල නරක්‌වන විටත්, පාන් පිටි පරිභෝජනය ගැන කවර කතාද? සහල් පිටි උපයෝගී කරගෙන බේකරි ආහාර නිෂ්පාදනයේ යෙදෙන ව්‍යාපාරිකයන් බොහෝමයක්‌ රටේ සිටිති. 


ඒ අයත් ඒ නිෂ්පාදන පරිභෝජනය කරන අයත් කියන්නේ රසයෙන් මෙන්ම ගුණයෙන්ද එම නිෂ්පාදනයන්හි කිසිදු අඩුවක්‌ වෙනසක්‌ නැති බවය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ ගැන රටට හරි පණිවුඩයක්‌ ගොස්‌ නැති වීමය. 

එසේත් නැත්නම් අපට සිතන්නට වන්නේ කවර හේතුවක්‌ නිසා හෝ එම පණිවුඩය ජනතාවට සන්නිවේදනය වීමේ ක්‍රියාවලියට බාධා පැමිණ ඇති බවය. ඒ නිසාම රටේ ජනතාව පාන් පිටි කෑම ගැන කරන සමීක්‍ෂණවලට වඩා සහල් පිටි රට තුළ ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක්‌ රජයට තිබිය යුතු බව අපේ අදහසයි.

එවැනි ක්‍රමවත් වැඩපිළිවෙළකට මුහුණ දීමට පළමුව මෙරට වී ගොවීන් ශක්‌තිමත් කිරීමේ ස්‌ථිරසාර වැඩපිළිවෙළක්‌ද රජයට තිබිය යුතුය. තවමත් වී ගොවීන්ගේ ප්‍රධාන ප්‍රශ්නවලට නිශ්චිත විසඳුමක්‌ ලබාදීමට රජයට හැකියාවක්‌ ලැබී නැත. 


වී අස්‌වැන්නෙන් වැඩි කොටසක්‌ කුණු කොල්ලයට මිලට ගන්නා පෞද්ගලික අංශයේ වෙළෙන්දාගේ සහාය පාන් පිටිවලට එරෙහි සටනට හිමිවේ යෑයි විශ්වාසය තැබිය නොහැක. මේ ප්‍රශ්නය ගොවීන් හමුවේ ඇති ප්‍රධානතම "අර්බුදයයි." තම අස්‌වැන්න පෞද්ගලික අංශයට කුණු කොල්ලයට විකුණා දැමීමේ බරපතළ ප්‍රශ්නය අදක ඊයෙක මතු වූවක්‌ද නොවේ. 

හැම කන්නයකම ගබඩාවල වී එක්‌රැස්‌වීම නිසා ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සීමා කරන්නට සිදුවීම ඊට හේතුවය. වී ගැනුම් මිල අනුව රුපියල් 50 ට වී අලෙවි මණ්‌ඩලය මිලදී ගන්නේ සමස්‌ත අස්‌වැන්නෙන් සියයට දහයක්‌ තරම් සුළු ප්‍රමාණයක්‌ බැවින් රුපියල් 18 ක්‌ වැනි අඩු මිලකට පෞද්ගලික වෙළෙඳුන්ට වී විකිණීමට සිදුව තිබේ. 

වී අලෙවි මණ්‌ඩලයේ 1974 අංක 14 දරන පනතට අනුව වී අලෙවි මණ්‌ඩලය ඊට ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ සැකසීමට. වඩාත් ඉක්‌මන් විය යුතු බව අපි විශ්වාස කරමු.

ඇත්ත වශයෙන්ම රටේ ජනතාවට වස විස නොබෙදන ජාතික ප්‍රතිපත්තියක්‌ සැකසීම අපිදු අගය කරමු. එහි ප්‍රධාන කොටම ඉටුකළ යුතු කාර්යය "වී" ප්‍රශ්නය බවද අපි අවධාරණය කරමු. 


"බත" ගැන පමණක්‌ නොව "සහල් පිටි" වල අගය ගැනද රටේ ජනතාව දැනුම්වත් කළ හැක්‌කේ එවැනි විධිමත් වැඩපිළිවෙළකට පසුවය. "පාන් පිටි" වලට එරෙහි අමුතු සටනක්‌ එතැනින් එහාට අවශ්‍ය වන්නේ නැත.
 
Related Posts with Thumbnails