Ads 468x60px

.

අවදානමට පෙර සූදානම කෝකටත් හොඳ බව...


කලකට පසුව 2009 වර්ෂයට පෙර යුගය සිහිපත් කරවන ප්‍රවෘත්තියක්‌ ඊයේ හැම පුවත්පතකම පළවී තිබිණ. ඒ, මරාගෙන මැරෙන ඇඳුම් සමඟ හිටපු කොටියකු (එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදියකු) කොටුවූ පුවතය. 

මරාගෙන මැරෙන්නට පමණක්‌ නොව බොහෝ දෙනෙක්‌ වනසා දමන්නට තරම් බඩු එහි තිබූ බවද වාර්තාවේ. ඒ අනුව මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටලයට අමතරව ක්‌ලේමෝ බෝම්බ හතරක්‌, ටී. එන්. ටී. වර්ගයට අයත් බව කියන පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් අටක්‌, ටී
පනස්‌ හයේ ගිනි අවිවලට යොදන පතොරම් හා මිලිමීටර් නවයේ පිස්‌තෝලවලට යොදා ගන්නා පතොරම් සහිත පැකට්‌ 10 ක්‌ සහ බැටරි ජැක්‌ දෙකක්‌ ඒ අතර තිබී ඇති බව කියෑවේ. 

සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයකු වීමය.

බොහෝ දෙනකුට මෙය අතිශය සරල කාරණයක්‌ සේ පෙනුන ද අපට අනුව නම් මෙය සුබ ලකුණක්‌ නොවේ. අප දිය කොරහේ ඇනකොන්ඩාවන් දකින්නට උත්සාහ දරන්නේ නැත. 


එහෙත් මුහුද හත්ගව්වක්‌ නොව ඊට එහා දුරකින් පිහිටිය ද අමුඩ ඇඳ සූදානම් ශරීරයෙන් සිටීම ගුණදායක බව අපි කල්පනා කරන්නෙමු. ඊට හේතු ගණනාවක්‌ තිබේ. එයින්, ප්‍රධානතම සහ හැමදාමත් අවධාරණය කරන හේතුව අපි නැවතත් අවධාරණය කරමු. 

ඒ, ත්‍රස්‌තවාදය අවසන් කළ නමුත් බෙදුම්වාදී අවතාර අප අවට සැරිසැරීමය. ත්‍රස්‌තවාදය විවිධ වේශයෙන් ලොව පුරා ක්‍රියාත්මක වීම වර්ධනය වන යුගයක අවුරුදු හය හතකට උඩදී අවසන් කළ යුද්ධයක්‌ ගැන විමසුම් ඇසින් බැලිය යුතුය.

ඊයේ වාර්තාවට අනුව, මෙම පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ සඟවාගෙන සිටි ත්‍රස්‌තවාදියා එම අවි ආයුධ වෙනත් ස්‌ථානයකට රැගෙන යාමට සූදානමින් හිඳ තිබේ. අදාළ පුපුරන ද්‍රව්‍ය තොගය සඟවා තිබූ නිවසට ඒවා ගෙනැවිත් ඇත්තේ මීට දින දෙක තුනකට ඉහතදීය. එම සිදුවීම් ජාලය තුළම සැකසංකා මතුවීමට තරම් හේතු වන කාරණා රැසක්‌ තිබේ.

මෙවැනි පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ යුද්ධය නිමා වී වසර හය හතක්‌ යනතුරු නිවසක ගොඩගසා තබාගන්නා කවුරුන් හෝ වේවා එසේ කරන්නට හේතු තිබිය යුතුය. එක්‌කෝ මේ පුද්ගලයා පරණ බඩු එකතු කරන කෙනෙක්‌ විය යුතුය. එසේ නැත. මේ පුද්ගලයා පූර්ණ වශයෙන්ම පුනරුත්ථාපනය නොවූ කොටියකු බව පොලිසියම සොයාගෙන තිබේ. 


එසේත් නැත්නම් කාට හෝ විකුණා දැමීමට විය යුතුය. එසේ වීමට ද නොහැක්‌කේ මෙතරම් දීර්ඝ කාලයක්‌ "බිස්‌නස්‌" එක පමාවන්නට හේතුවක්‌ නැති නිසාය. "පරණ කොටි" ළඟ ඇති "පරණ බඩු" බොහෝමයක්‌ සොයා ගන්නේ නිවසේ සාලයෙන් කෑම කාමරයෙන් හෝ පිළිකනුවලින් නොව ඈත කැලයේ හෝ ජන ශූන්‍ය ප්‍රදේශවල වළ දමා තිබියදී බව කිව යුතුය.

ඒ නිසාම "අලුත් පිට" පෙනෙන මේ බෝම්බ කන්දරාව ගැන යම් තරමක බියක්‌ රටේ ජනතාව තුළ ඇතිවීම සාධාරණය. එමෙන්ම, එය ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවේ යෑයි කීමට ඉක්‌මන්වීම ද කොහෙත්ම සාධාරණ නැත. එල්. ටී. ටී. ඊ. ය යනු අදටත් ශ්‍රී ලාංකීය සමාජය තුළ යම් භීතියක්‌ දනවන ත්‍රස්‌තවාදී මූලයක්‌ය. තවමත් පුනරුත්ථාපනය නොවී ආරක්‍ෂක හමුදාවන්ට අසු නොවී පුපුරන ද්‍රව්‍ය තොගයක්‌ සමඟ අල්ලාගත් එල්. ටී. ටී. ඊ. කාඩරයකු ගැන කවර කතාද?

අනෙක්‌ අතට ජාත්‍යන්තරයේ සියලු රටවල් අපමණ ත්‍රස්‌තවාදී බියකින් පෙලෙන විට අප මෙවැනි අවස්‌ථාවක්‌ ගැන සුළු කොට තැකීම කිසිසේත්ම සිදු නොවිය යුත්තකි. 


ප්‍රංශය, බ්‍රිතාන්‍ය, රුසියාව, ඉන්දියාව, ජර්මනිය, පාකිස්‌තානය මේ ආදී වශයෙන් ලොව ප්‍රමුඛ පෙළේ ආරක්‍ෂාව ගැන උපරිම විශ්වාසයක්‌ තබා සිටි රටවල් පවා අද වන විට තමන්ගේ රටේ ආරක්‍ෂාව ගැන සියයට සියයක්‌ම සතුටු වන තත්ත්වයක්‌ පෙනෙන්නට නැත. 

කොහොමත් අපේ ආරක්‍ෂාව ගැන බලාගන්නට වෙන්නේ අපටමය. දැන් ත්‍රස්‌තවාදය හිසරදයක්‌ යෑයි කියන, මානව හිමිකම් ගැන නොසිතාම ත්‍රස්‌තවාදයට මුහුණ දිය යුතු යෑයි කියන රටවල්, ශ්‍රී ලංකාවට ත්‍රස්‌තවාදය ගැන අමුතුම පාඩම් කියා දෙන්නටත්, මානව හිමිකම් ගැන කියා දෙන්නටත් ආ බව අමතක කළ යුතු නැත. ඒ නිසාම අවදානමට පෙර සූදානම කෝකටත් හොඳ බව ලියා තබමු.


 
Related Posts with Thumbnails