Ads 468x60px

.

මෙය එළ හරක්‌ තර්කයක්‌ ද නැතහොත් මී හරක්‌ තර්කයක්‌ ද..?


සිංහල අවුරුද්දක්‌ අත ළඟ තිබියදී ඒ ගැන හොඳ දෙයක්‌ නොලියා ජෝන් අමරතුංගලා, කරුණාසේන හෙට්‌ටිආරච්චිලා වැනි අය ගැන ලිවීමට අපට සිදුව තිබේ. 

වත්තල ජොගිං ට්‍රැක්‌ එක කඩා බිඳ දැමූ දේශපාලන වනචරයන්ට දඬුවම් දෙන්නේදැයි රූපවාහිනි වාර්තාකරුවකු විසින් ඇමැති ජෝන් අමරතුංග ගෙන් විමසන ලදුව ඔහු කියා සිටියේ ජොගිං ට්‍රැක්‌ එක ආපහු හදන බැවින් ඔවුන්ට දඬුවම් දීම අනවශ්‍ය බවයි. 

එතුමා ඒ බව කියා සිටියේ සිය මුඛයෙන්මය. ඒ ගැන සැක නොසිතන්න. එතුමාගේ කතාවේ හරය මෙයයි. කිසිවකු පැමිණ එතුමාගේ හිසට
පොල්ලකින් පහර දෙනවා යෑයි සිතමු. එවිට යෝධ සියඹලා ගසක්‌ කපා දැමුවාක්‌ මෙන් එතුමා බිම ඇද වැටේ යෑයි ද සිතමු. 

එය මිනී මැරීමට තැත්කිරීමකි. එහෙත් විත්තිකරු ඇමැතිතුමාගේ හිසට බෙහෙත් දමා ඔහු සුවපත් කර දෙන්නේ නම් දඬුවම් කළ යුතු නැත. මෙය එළ හරක්‌ තර්කයක්‌ ද නැතහොත් මී හරක්‌ තර්කයක්‌ ද යන්න තෝරාගෙන උත්තර ලියා එවන පාඨකයන්ට කුසපත් ඇදීම මගින් බැකෝ යන්ත්‍රයක්‌ තෑගි දිය යුතුය. 

මෙවැනි උත්තර සපයන තවත් මහතෙකි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි. මෙයට දින කිහිපයකට පෙර චාවකච්ෙච්රියේ නිවසකින් මරාගෙන මැරෙන අය අඳින බෝම්බ ජැකට්‌ එකක්‌ හමු වූ කල්හි කරුණාසේන හෙට්‌ටිආරච්චි කීවේ එය ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ නොවන බවය. 

ඔහුගේ අදහස මෙය පරණ බෝම්බ ජැකට්‌ එකක්‌ බවය. පරණ කියා බෝම්බ පුපුරන්නේ නැද්ද? දෙවන ලෝක යුද්ධයේදී සඟවන ලද බෝම්බ අදටත් පුපුරන අවස්‌ථා තිබේ. බෝම්බවලට එක්‌ස්‌පයරි ඩේට්‌ නැත. කරුණාසේන හෙට්‌ටිආරච්චිට ජාතික ආරක්‍ෂාව ගැන පළපුරුද්දක්‌ නැත. එක අතකට ඔහුට දොස්‌ නැඟීම වරදකි. 

මන්ද වසර 39 ක්‌ම රාජ්‍ය සේවකයකු ලෙස වැඩ කර තිබුණත් ජාතික ආරක්‍ෂාව ගැන වෘත්තීය මට්‌ටමින් කටයුතු කරන්නට ඔහුට චාන්ස්‌ එකක්‌ ලැබිලාම නැත. ආරක්‍ෂක ලේකම් වීමට පෙර ඔහු වැඩ කළේ නාගරික සංවර්ධන සහ ජලාපවහන මණ්‌ඩලයේ ලේකම් ලෙසිනි. 

මේ නිසා පයිප්ප බට මිස තුවක්‌කු බට දකින්නටවත් ඔහුට ඉඩක්‌ නොලැබුණා විය හැකිය.

එක්‌ අතකට බෝම්බ ජැකට්‌ටුව ගැන මේ ආණ්‌ඩුවේ සමහර පුද්ගලයන් පළ කළ අදහස්‌ ගැන කල්පනා කර බලන විට කරුණාසේන හෙට්‌ටි ආරච්චිට සමාව දෙන්නට අපට සිදු වෙයි. තමා ළඟ තිබූ බෝම්බ මසුන් මරනු පිණිස ගෙනා බෝම්බ බවට විත්තිකරු ප්‍රකාශයක්‌ කර තිබිණ. 


එය ඇත්ත බවත් මේ බෝම්බ ගෙනැවිත් ඇත්තේ මසුන් මැරීමටම බවත් එක්‌තරා දේශපාලන කටුස්‌සෙක්‌ ද කියා සිටියේය. විත්තිකරු ළඟ තිබූ බෝම්බ දමා මසුන් මැරුවොත් කන්නට සිදුවන්නේ මසුන් නොව මාළු කුඩුය. අනෙක වෙඩි දමා මසුන් මැරීම තහනම් වැඩකි. විත්තිකරු මරාගෙන මැරෙන අය අඳින බෝම්බ ජැකට්‌ ළඟ තබා ගත්තේ මිනී මෝරුන් වැනි සතුන් මරා ගැනීමටද?

අවංක මිනිසුන් වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අගමැති රනිල් වික්‍රමසිංහට මෙවර වැඩ කිරීමට සිදු වී ඇත්තේ නොම්මර එකේ හොර රැළක්‌ සමඟය. මේ හොර රැළ ගිය ආණ්‌ඩුවේ අංග සම්පූර්ණ කාබන් කොපියකි. ජෝන්ගේ සහෝදර සමූහයකි.
 
Related Posts with Thumbnails