Ads 468x60px

.

මේ දුෂ්කර අවස්‌ථාවේදී මේ රටේ ජනයාට තිබෙන එකම සහනය..


ගිය අවුරුද්දේ ජනවාරි 8 වැනිදාට පෙර ශ්‍රී ලංකාවේ ආර්ථිකය දෙස බලන විට එහි මතුපිට පින්තූරය මේ ආකාරයය රාජපක්‍ෂ ආණ්‌ඩුව ඉතා නරක ලෙස පිටරටවලින් ණය ගෙන තිබිණ. 

ආණ්‌ඩුව ඒ ණය ගත්තේ පාරවලුත් හදා තමනුත් හැදෙනු පිණිසය. මත්තල ගුවන් තොටුපළත් හදා තමනුත් හැදෙනු පිණිසය. මාගම්පුර වරායත් හදා තමනුත් හැදෙනු පිණිසය. මත්තලට අන්තර්ජාතික
සම්මන්ත්‍රණ ශාලාවකුත් හදා තමනුත් හැදෙනු පිණිසය. 

මේ ව්‍යාපෘතිවලට කලිනුත් ආණ්‌ඩුව ණය වී සිටියේය. ඒ මිනිසුන් ජීවත් කරවනු පිණිසය. මන්ද යත් මිනිසුන්ගේ පැවැත්ම සඳහා ලබාගන්නා බදු ඇතුළු හැම සතපහක්‌ම ඒ දිනවල ඔවුන් වියදම් කළේ යුද්ධය පිණිසය. 

යුද කරන්නට කිසිම රටක්‌ කාටවත් ණය දෙන්නේ නැත. යුද්ධයක්‌ තිබෙන රටවල් කරන්නේ රටේ ජනතාවගේ සුබ සාධනය සහ පැවැත්ම සඳහා ඇති මුදල් යුද්ධයට යොදවා, ඒ මුදලින් කළ යුතු වැඩේ සඳහා ණය ගැනීමය. මෙය ඉතාම වැරදි සහ නරක ක්‍රමයකි. 

එහෙත් යුද්ධයක්‌ ජය ගැනීමට උවමනා විට මෙය කරන්නටම සිදුවේ. කෙසේ හෝ වේවා ඉකුත් ආණ්‌ඩුව ඇතැම් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා ද ක්‍ෂණික ණය වැඩි පොලියට ගෙන තිබිණ. 

ආණ්‌ඩුවක්‌ ණය ගන්නේ බැඳුම්කර හරහාය. මේ බැඳුම්කර කෙළින්ම මහා භාණ්‌ඩාගාරයෙන් නිකුත් කළත්, මහා භාණ්‌ඩාගාරය මගින් බැංකු හරහා නිකුත් කළත් ආණ්‌ඩුවේ ආවරණය අවශ්‍යය. එබැවින් කල්පිරුණු පසු එම බැඳුම්කර මුදල් කළ යුතුමය. 

ආණ්‌ඩුවක්‌ සල්ලි නැතිව බැඳුම්කර නිකුත් කර එම මුදල් විවිධ දේවලට වැය කිරීමෙන් පසු ලොකුම අමාරුවට පත්වන්නේ පෙර කී කල් පිරෙන අවස්‌ථාවේදීය. එවිට එම බැඳුම්කර බේරීම සඳහා තවත් ණය ගන්නට සිදුවෙයි. ණය යනු සංසාර ගමන වැනි වැඩකි. 

ගොනා පසුපස ගැල ඇදී එන්නාක්‌ මෙන් ගත් ණය ද පොලිය සමඟම ණය ගැතියා පසුපස ඇදී එයි. ගිය ආණ්‌ඩුව ගත් ණය මේ ආණ්‌ඩුව පසුපස ඇදී එන්නේ ඒ ආකාරයටය. මේ ආණ්‌ඩුව ගන්නා ණය ලබන ආණ්‌ඩුව පසුපස ඇදී එන්නේ ද මේ ආකාරයටම ය. කෙසේ වුවද පසුගිය ආණ්‌ඩුව කාලයේදී ඛනිජ තෙල් සංස්‌ථාව සහ විදුලිබල මණ්‌ඩලය විශාල වශයෙන් පාඩු ලැබූ අතර එම පාඩු පියවා ගනු සඳහා තවත් ණය ගැනීමට සිදුවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා නරක තැනක පවතින බවත්, අප ණය කන්දක්‌ උඩ නිදා සිටින බවත් දැනට සිටින ආණ්‌ඩුව විපක්‍ෂයේ සිටි කාලයේදී හො¹කාරවම දැන සිටියේය. එසේ දැන දැනත් ඡන්දය කිට්‌ටු කර තිබියදී ඔවුහු රජයේ සේවකයන්ට රුපියල් 10000 ක්‌ දෙන බව කීහ. 


එය ඡන්ද ගුණ්‌ඩුවකි. එහෙත් නව රජය බලයට පත් වූ පසු මේ ගුණ්‌ඩුව පත්තු විය. අද වන විට මේ රුපියල් දහදාහ ආර්ථිකයට විශාල කරදරයක්‌ වී තිබේ. වර්තමාන ආණ්‌ඩුව විපක්‍ෂයේ සිටියදී දිගින් දිගටම කීවේ තමන් බලයට පත් වූ පසු ඇමැති මණ්‌ඩලය 30 කට සීමා කරන බවය. 

එහෙත් අද වන විට එම තිහ හැටක්‌ වී, හැට අනූවක්‌ වී තිබේ. ඇමැතිවරයකු නඩත්තු කිරීමට මසකට රුපියල් මිලියන 5 ක්‌වත් උවමනාය. ඒ අනුව ගිය ආණ්‌ඩුව කළ සියලුම වැරදි මේ ආණ්‌ඩුව විසින් ද කරන්නට පටන්ගෙන තිබේ. 

එබැවින් දැනට මේ ආණ්‌ඩුව ගැන පැහැදෙන්නට ප්‍රමාණවත් හේතුවක්‌ නැත. ඒ අතර මැයි 2 වැනිදා සිට වැට්‌ බද්ද ද නැංවීමට ආණ්‌ඩුව තීරණය කර ඇත. වැට්‌ බද්ද නැග්ගොත් මිනිසුන්ට වැලේ වැල් නැති වෙයි. 

හැම භාණ්‌ඩයකම මිල ඉහළ යැම එවිට සිදුවන්නේය. මේ දුෂ්කර අවස්‌ථාවේදී මේ රටේ ජනයාට තිබෙන එකම සහනය වන්නේ පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයයි. 

මහජනතාවට බරක්‌ වන කිසිදු බද්දක්‌ පනවන්නේ නැතැයි ඔහු කියා තිබේ. පොලොන්නරුවේ ගොවි පවුලකින් පැමිණි ගැමියකු වන ඔහුට ජන දුක තේරෙයි. කොළඹ සිටින කෝට්‌කාරයන්ට එය නොවැටහීම අභාග්‍යයකි.
 
Related Posts with Thumbnails