Ads 468x60px

.

පොලිස්‌ සේවාව මෙතරම් සවුත්තු වූයේ කවර හේතුවක්‌ නිසාද..?


ශ්‍රී ලංකාවේ 34 වැනි පොලිස්‌පතිවරයා වශයෙන් පූජිත් ජයසුන්දර මහතා ඊයේ (20 දා) නිල වශයෙන් රාජකාරි ඇරඹීය. හිටපු හැම පොලිස්‌පති වරයකුටම මෙන් නව පොලිස්‌පතිවරයාට ද භාර ගන්නට සිදුව ඇත්තේ ලෝකයේ හොඳම පොලිස්‌ දෙපාර්තමේන්තුව නොවේ.

ශ්‍රී ලංකාවේ 33 වැනි පොලිස්‌පතිවරයා ලෙස කටයුතු කළ එන්. කේ. ඉලංගකෝන් මහතා විශ්‍රාම ගත්තේ සිය සේවා කාලයේ විශිෂ්ඨත්වය සලකුණු කරමිනි. එහෙත් ඔහුට ද පොලිසිය සියයට සියයක්‌ම හොඳම

තැනක්‌ බවට පත්කරන්නට හැකියාව නොලැබුණු බව අපේ විශ්වාසයයි. 

ඒ ඔහුගේ අඩුපාඩුවක්‌ නිසා නොව, පොලිසියේ හොඳ නම උලා කන ඉහඳ පණුවන්ගේ ප්‍රමාණය දවසින් දවස වර්ධනය වීම නිසාය. නව පොලිස්‌පතිවරයාට භාරගන්නට සිදුව තිබෙන්නේ ද එවැනි පොලිස්‌ දෙපාර්තමේන්තුවකි.

පොලිසිය සම්බන්ධයෙන් ජනතාවට ඇත්තේ බරපතළ විවේචනයකි. එය එසේ මෙසේ විවේචනයක්‌ නොව නීතිය තමන් අතට ගැනීම දක්‌වා දුරදිග ගිය එකකි. පොලිස්‌ කාකි සූට්‌ එක දුටු විට වරදක්‌ නො කළ අයෙකුට වුව "සුළුදිය" පහවන යුගයක්‌ පසුකළ බව අප අමතක නොකළ යුතුය. 


එහෙත් අද වන විට කාකි ඇඳුම හැඳ සිටින තක්‌කඩියකුට සුළුදිය පහවන තුරු පහර දෙන තැනට සමාජය පරිවර්තනය වී හමාරය. පොලිසිය යෑයි රැවටී පියුම් මාමාට බයේ දුවගිය අය ගැන "කතා" ඇත්තේ ද පොලිසිය කෙරෙහි එතරම්ම ගෞරව සම්ප්‍රයුක්‌ත හැඟීමක්‌ රටේ ජනතාව තුළ තිබූ නිසාය. 

ඒ පොලිස්‌ සේවාව මෙතරම් සවුත්තු වූයේ කවර හේතුවක්‌ නිසාදැයි යන්න නව පොලිස්‌පතිවරයා ඉතාම ගැඹුරින් කල්පනා කරන්නට වුවමනාය. නව පොලිස්‌පතිවරයා හොඳින්ම තේරුම් ගත යුතු කාරණයක්‌ වන්නේ පොලිසියේ සමහර උදවිය කරන ඉතාම නින්දිත වැඩක්‌ පවා පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක තනතුර දරන්නා විසින් ශුද්ධ කරනු ලබන "විහිළුව" තවදුරටත් මේ රට තුළ වලංගු නැති බවය. 

කලකට ඉහතදී තමිල්නාඩු පොලිසිය හැඳින්වූයේ ප්‍රචණ්‌ඩකාරී, මිනීමරු, පගාවට වංචාවට යටවූ, ස්‌ත්‍රී දූෂකයන්ගෙන් පිරීගත් පොලිසියක්‌ හැටියටය. අද වන විට එවැනි කතා බොහෝවිට හින්දි චිත්‍රපටවල (කොලිවුඩ්, බොලිවුඩ් යන දෙපාර්ශ්වයේම) දකින්නට ලැබෙන්නේ ද ඒ නිසාම විය හැකිය. 

එතරම්ම නරක ගණයට අයත් නොවෙතත් ශ්‍රී ලංකාවේ පොලිසිය ද ඒ වගේ යම් යම් දේවල් කොපි කරන්නට උත්සාහ දරමින් සිටින බව පෙනේ. ඒ නිසාම පොලිසියේ සිටින සමහර අවංක නිලධාරීන් එක හොඳ වැඩක්‌ කර පොලිසියේ නම කිරිදියෙන් දොවනය කරන විට සමහර කාකි සූට්‌කාරයන් දහසක්‌ නරක වැඩකර පොලිසියේ නම අශූචි බාල්දිවලින් නහවයි.

වැඩ භාර ගත් පොලිස්‌පතිවරයා ද පොලිස්‌ සේවාව තුළ දීර්ඝ අත්දැකීම් ඇති අයෙකු ලෙස මේ ගැන අවබෝධයක්‌ ඇතැයි අපි විශ්වාස කරමු.

හිටපු පොලිස්‌පතිවරයා විශ්‍රාම ගෙන නික්‌ම යැමට පෙර කීවේ, පොලිසියේ ගුණාත්මක බව වර්ධනය කිරීම උදෙසාත්, සියලුම පොලිස්‌ නිලධාරීන්ගේ වැටුප්තල, පහසුකම්, උසස්‌ කිරීම් සඳහාත් උසස්‌වීම් ලබා ගැනීමේ ක්‍රමවේදයක්‌ සැකසීම පිණිසත් යම් යම් ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් නව පොලිස්‌පතිවරයාට එම ක්‍රියාවලිය අඛණ්‌ඩව ඉදිරියට ගෙන යැමට හැකියාව ලැබෙනු ඇති බවත්ය. 


අපට කියන්නට තිබෙන්නේ ඒ සියලු දේ සමගින් පොලිසිය 'පොලිෂ්' කිරීම ද වැඩි වේගයකින් සිදුවිය යුතු බවය. අපට පෙනෙන්නේ පොලිසිය වැරදිමයි යනුවෙන් වැරදි වැටහීමක්‌ ඇති කරගත යුතු නැත. 

ශ්‍රී ලංකා පොලිසිය විශිෂ්ටත්වයට පත්කළ සියලු දෙනාටම අපි ගෞරවය පුද කරමු. එහෙත් පොලිසිය කෙරෙහි බිඳ වැටී ඇති විශ්වාසය ගොඩ නැංවීම සියල්ලටම පෙර කළ යුතු දෙයක්‌ බව නැවත අවධාරණය කරමු.
 
Related Posts with Thumbnails