Ads 468x60px

.

මිනීමැරුම්, කප්පම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක සැකකරු 'පොඩි සාගර' වෙඩි තබා ගනී...


මිනීමැරුම්, කප්පම් ගැනීම් ආදී දරුණු අපරාධ කරමින් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ ගණනාවක ජනතාව භීතියට පත්කරමින් සිටි 'පොඩි සාගර' නමැති පාතාල නායකයා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මගින් පෙරේදා (20දා) රාත්‍රී ගොකරැල්ලේදී අත්අඩංගුවට ගැනීමට යද්දී ඔහු තම ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන දිවි නසාගෙන ඇත.

මෙසේ සිය දිවි නසාගෙන ඇත්තේ මාදූව, කටුනායක පදිංචි මිනුවන් ගොඩ පාතාල නායකයා ලෙස හඳුන්වන මානික්‌කුගේ සුමිත් දයාරත්න නොහොත් පොඩි සාගර නමැති අපරාධකරු බව පොලිසිය කියයි.

නව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලෙස කටයුතු කරමින් සිටියදී පාතාල කල්ලි

මර්දනයට පත්කළ මීගමුව විශේෂ පාතාල මර්දන ඒකකය විසින් කළ මෙහෙයුමකදී මොහු මෙලෙස සියදිවි නසාගෙන ඇත.

මෙම පාතාල නායකයා ගොකරැල්ල, කුඹුක්‌ගැටේ, මැදගම ප්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී මීගමුව පාතාල මර්දන විශේෂ ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මනෝහර ඇතුළු නිලධාරීන් පෙරේදා (20දා) රාත්‍රී 10 ට පමණ මෙම නිවස වටලා ඇත.

පොලිසිය මෙම පාතාල නායකයා අත්අඩංගුවට ගැනීමට සැරසුණු අවස්‌ථාවේ පිස්‌තෝලයකින් හිසට වෙඩි තබාගෙන ඔහු දිවි හානි කර ගෙන ඇත.

මෙම පොඩි සාගර නැමැත්තා මීගමුව, කටුනායක, සීදුව, මිනුවන්ගොඩ, හීනටියන, ගම්පහ, කොච්චිකඩේ, දිවුලපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව භීතියට පත් කරගෙන සිටි පාතාල නායකයෙකි.

මොහුට එරෙහිව මිනීමැරුම් අටක්‌ සම්බන්ධව නඩු විභාග වෙමින් තිබේ. තවත් මිනිස්‌ ඝාතන රැසක්‌ සම්බන්ධව ඔහුට චෝදනා එල්ල වී තිබෙන බවත්, ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් මුදල් ලබාගැනීම, ප්‍රතිවිරුද්ධ පාතාල සාමාජිකයන් ඝාතනය, කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මැරීම, කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක්‌ සම්බන්ධවද මොහුට එරෙහිව චෝදනා ඇතැයි පොලිසිය පවසයි.

2004 වසරේදී කටුනායක, ආඬිඅම්බලම ප්‍රදේශයේදී තුෂාර සුරංග සිල්වා (ලොකු අයියා) වෙඩි තබා ඝාතනය කිරීම, 2005 දී ගම්පහදී බන්ධනාගාර බස්‌ රථයක්‌ පසුපස ලොරියකින් පන්නාගෙන ගොස්‌ බස්‌ රථයට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු සහ රැඳවියකු ඝාතනය කිරීම සම්බන්ධවද පොඩි සාගරට චෝදනා එල්ල විය.

2005 වසරේදී ජනක රූපසිංහ නමැත්තෙකු මිනුවන්ගොඩ, හීනටියනදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේද පොඩි සාගර විසින් බවත්, මීගමුවේදී, වත්තල තුෂාර නමැත්තා ඝාතනය කිරීම, 2015 වසරේ සැප්තැම්බර් 28 දා මිනුවන්ගොඩ දේවක නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේම නොවැම්බර් 04 දා සීදුව, මුතුවාඩිය පාලම අසලදී නලීන් උදය කුමාර නමැත්තා ඝාතනය සම්බන්ධවද මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙම තැනැත්තා, මිනුවන්ගොඩ සහ කටුනායක ප්‍රදේශවල ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සහ ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක්‌ ඝාතනය කිරීමටද සැලසුම් කරගෙන සිටි බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මෙම පොඩි සාගර නමැත්තා ගොකරැල්ල ප්‍රදේශයේ සිය අනියම් බිරිඳගේ නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරක්‌ මත පොලිස්‌ නිලධාරීන් එම ප්‍රදේශය වටලා ඇත. මීට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේද සහාය ලබාගෙන ඇත.

එම අවස්‌ථාවේ ඔහු එම නිවසින් පලායාමට උත්සාහ කර ඇති අතර පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට යැමේදී ඔහු සිය ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන ඇත. පොඩි සාගරගේ කල්ලියේ කප්පම් එකතු කළ සාමාජිකයන් දෙදෙනකුද දින කිහිපයකට පෙර පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

බස්‌නාහිර උතුර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අනුර අබයවික්‍රම යන නිලධාරීන්ගේ අධීක්‍ෂණය අනුව පොලිස්‌ පරීක්‍ෂක මනෝහර මහතා ඇතුළු පිරිසක්‌ පරීක්‍ෂණ මෙහෙයවූහ.
 
Related Posts with Thumbnails