Ads 468x60px

.

ජනමාධ්‍ය ගැන ආණ්‌ඩුව යහපත් ආකල්පයකින් කටයුතු කරන බව සිතිය හැක්‌කේ...?


රටේ ජනමාධ්‍ය සම්බන්ධයෙන් වඩා හිතකර ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන බව වත්මන් ආණ්‌ඩුව බලයට පැමිණීමට පෙර සිටම බොහෝ අවස්‌ථාවල පැවසූ බව අමතක කළ යුතු නැත. 

එහෙව් ආණ්‌ඩුවක අගමැතිවරයා, සමහර ජනමාධ්‍ය ආයතන, මාධ්‍ය වේදීන් නමින්ම ආමන්ත්‍රණය කරමින් දොස්‌ පවරන විට මාධ්‍යවේදීන්
පමණක්‌ නොව සමස්‌ත රටේ ජනතාවම බොහෝ සෙයින් කලබල වූ බව කිව යුතුය. 

මේ අතරවාරයේ ම ගෙන ආ තොරතුරු දැන ගැනීමේ පනත පවා සමාජය තුළ ද්විතීයික කම්පනයක්‌ ඇති කිරීමට සමත් විය. ඒ, තොරතුරු දැනගැනීම සඳහා යහපත් ප්‍රවේශයක්‌ සහිත නියාමනයක්‌ ඒ තුළින් ඉදිරිපත් කර නැති බවට සමාජයේ විද්වත් කොටස්‌ අතරින්ම පැන නැඟුණු සංවාදය නිසාය.

කෙසේ හෝ පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා තිබුණේ විද්යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරි පනතක්‌ ගෙන එන බවය. ඉහත සඳහන් කළ අවස්‌ථා දෙකෙහිදී මෙන් මෙවර එය රටේ ජනතාව කලබල යට පත් නොකරන අන්දමේ එකක්‌ වනු ඇතැයි අපි විශ්වාස කරමු. 


සැබැවින් ම එවැනි විකාශන අධිකාරි පනතක අවශ්‍යතාවක්‌ තිබෙන බව අපි මීට පෙර ද සටහන් කර ඇත්තෙමු. ජනමාධ්‍යයට තොරතුරු හෙළි කිරීමේ අයිතිය භාවිත කරමින් අසත්‍ය හෝ මිත්‍යා මතයන් සමාජයේ වැපිරීම සිදු නොවිය යුත්තකි. 

විශේෂයෙන් සමාජගත ආචාර ධර්ම ගැන කිසිදු තැකීමක්‌ නොකර විකාශය කරනු ලබන බොහෝ දේ පිළිබඳව නියාමනයක්‌ අවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නැත. ඊට ආසන්නතම උදාහරණය ලෙස මෙහිදී දැක්‌විය හැක්‌කේ කොටදෙණියාවේ දැරියගේ ඝාතනය සහ කොටකෙතන ඝාතන රැල්ල විකාශය කළ ආකාරයයි. 

(මෙය සමස්‌ත මාධ්‍යයටම පොදු කාරණයක්‌ වුවද විද්යුත් මාධ්‍ය ආයතන ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතු කාරණයක්‌ බවට පත්ව තිබේ.) 

මිත්‍යාව වැපිරීම වෙනුවෙන්ම බොහෝ විද්යුත් මාධ්‍ය ආයතන, බොහෝ දෛවඥයන්, දේවාල කපුවන් ගෙන්වා ඉදිරිපත් කරන වැඩසටහන් සමාජයේ යම් යම් කොටස්‌ කෙරෙහි ඇති කරන බලපෑම එතරම් සුබදායක නැත. 

මුදල් ගෙවූ පමණින්ම ඒවා විකාශය කළ යුතු වැඩසටහන් අතරට ගැනීම සිදු නොවිය යුත්තකි. ඒ නිසාම ඝාතන, ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර වැනි සිදුවීම් මෙන්ම මිත්‍යාව වපුරන වැඩසටහන් සම්බන්ධයෙන් ද යම් නියාමනයක අවශ්‍යතාවක්‌ තිබේ. 

ලෝකයේ බොහෝ රටවල බෝම්බ පිපිරීමකින් පසු ඝාතනය වූ සිරුරු, තුවාල ලැබූවන් පිළිබඳව ඡායාරූප, වීඩියෝ දර්ශන විකාශය කරන්නේ නැත. කොටදෙණියාවේ දැරියගේ ඝාතනයෙන් පසු ඇයගේ ඡායාරූප, මවුපියන්, ඔවුන් වෙසෙන නිවස, නිතර නිතර සියලුම නාලිකාවල දක්‌නට ලැබිණි. ඝාතනය වූ දැරියගේ නම නිරන්තරයෙන් කියෑවිණි. 

එහෙත් අපේ අසල්වැසි රටේ වෛද්‍ය ශිෂ්‍යාවක කණ්‌ඩායමක්‌ එකතුව දූෂණය කර ඝාතනය කළ විට ඇයගේ ඡායාරූපයක්‌ කොතැනක හෝ දක්‌නට ලැබුණේ නැත. ඇය හැඳින්වූයේ නිර්භයා යන අන්වර්ථ නාමයෙනි. 

ස්‌වයං නියාමනයක්‌, වාරණයක්‌, පනවා ගැනීමට නොහැකි නම්. මෙවැනි විකාශ අධිකාරියක්‌ පිහිටුවීමට ගන්නා උත්සාහය වැදගත් යෑයි අප කියන්නේ එහෙයිනි. එහෙත් එසේ වූ පමණින් ම එම විකාශන අධිකාරි පනත භාවිත කරමින් රටට අහිතකර දේ වසන් කිරීමට (නිදසුනක්‌ ලෙස 'ඉට්‌කා' ගිවිසුම) උත්සාහ දරන්නේ නම් ඊට එක හෙළා විරෝධය පළ කළ යුතුය. 

ඇත්ත වශයෙන්ම එවැනි බොහෝ අණ පනත්, යෝජනා ආදිය මුල් වටයේදීම පරාජය කරන්නටත්, සංශෝධනය කරන්නටත් හැකියාව ලැබුණේ විද්යුත් මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක්‌ ලබාදුන් නිසාය.

ඒ නිසාම මෙම විකාශන අධිකාරිය පිහිටුවීමේදී එය පිළිගත් ස්‌වාධීන බුද්ධිමතුන් පිරිසකගෙන් සැදුම් ලත් දේශපාලන ඇඟිලි ගැසීම් නැති ව්‍යාපෘතියක්‌ බවට පත්විය යුතුය. ජනමාධ්‍ය ගැන ආණ්‌ඩුව යහපත් ආකල්පයකින් කටයුතු කරන බව සිතිය හැක්‌කේ එවිටය.
 
Related Posts with Thumbnails