Ads 468x60px

.

අඥාන මතය මෙන්ම හුඹස් බිය දුරුකළ යුතු බව...


උතුර හා නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කොට දෙමළ භාෂාව කතා කරන ජනතාවට ප්‍රාන්ත පාලනයක් ලබාදෙන ලෙස උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. විග්නේශ්වරන් ඉදිරිපත් කළ යෝජනාවකට උතුරු පළාත් සභාවේ අනුමැතිය ලැබී ඇත. 

මේ යෝජනාවට එකඟතාව පළ කර නැත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන් දෙදෙනා පමණි. ඡන්දය
විමසන අවස්ථාවේ ඔවුන් සභා ගැබේ සිට නැත. 

මෙවැනි යෝජනාවක් උතුරු පළාත් සභාව සම්මත කර ගෙන ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහාය.

1972 ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදීත් උතුරේ දෙමළ නියෝජිතයන් මෙවැනි යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඊට සාධනීය ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. 


උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂ එක්වී වඩුක්කොඩෙයිහිදී සමුළුවක් පවත්වා වෙනම රාජ්‍යයක් සඳහා සටන් කිරීමට යෝජනා සම්මත කර ගත්තේ ඉන් අනතුරුවය. 

දෙමළ ජාතික ගැටලුවලට විශේෂයෙන් උතුරේදී ජනතාව මුහුණ දුන් ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා දෙමළ පක්ෂ සාමකාමීව ගෙන ගිය සටනට ඒ වන විට දශක කිහිපයක් ගතවී තිබිණි. 

ඒ කාලය තුළ බණ්ඩාරනායක - චෙල්වනායගම්, ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම් හරහා බලය බෙදා ගැනීමට ගත් පියවර ජාතිවාදී අන්තවාදී හා අවස්ථාවාදී කොටස්වල මැදිහත්වීම නිසා අසාර්ථක විය. 

සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රශ්නයේදී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා පැවැසුවේ එක් භාෂාවක් තෝරාගත හොත් රටවල් දෙකක් බිහිවීමට ඉඩ ඇති බවත් භාෂා දෙකක් නම් එක රටක ජීවත් විය හැකි වනු ඇති බවත්ය. රටවල් දෙකක් බිහි නොවුණද 30 අවුරුද්දක් පුරා පැවැති ඊළාම් බෙදුම් වාදී යුද්ධයෙන් සිදුවූ විනාශය ගැන කීමට අටුවා ටීකා අවශ්‍ය නැත.

දෙමළ ජනතාවගේ අරගලය 'වෘක්ෂයක්' නම් එල්ටීටීඊය හෙවත් 'විමුක්ති කොටි' සංවිධානය එහි හටගත් 'පිළිලයක්' බඳුවිය. පුද්ගල ඝාතන දේශපාලනය 'උපාය' කරගත් අන්තවාදී සංවිධානයක් වූ එල්ටීටීඊය කළ ම්ලේච්ඡ මිනිස් ඝාතන කිසිදු ආකාරයකින් හෝ අනුමත කළ නොහැකිය. 


එහෙත් උතුරේ දෙමළ ජනතාවගේ සාමකාමී ඉල්ලීම්වලට කන් නොදී මර්දනය දියත් කළ 'පාලකයන්' දෙමළ ජනතාවට කන්දීම ඇරැඹුවේ එල්ටීටීඊය නිසාය. තිත්ත වුවත් ඇත්ත එයයි. එල්ටීටීඊයේ සටන 'එක් අතකින්' සාධාරණ යැයි විපක්ෂ නායකවරයා කර තිබූ ප්‍රකාශය අසාධාරණ නැත්තේ එනිසාය. 

උතුර ඇවිළෙන විට කලබල වූ 'දකුණ', උතුර නිවී ගිය පසු සන්සුන්ය. පාලකයන් හැමදාම කළේ 'දෙමළා' දෙසට ඇඟිල්ල දිගු කොට 'දකුණ' රැවටීමය. කොටි මුලිනුපුටා දැමුවා යැයි කියමින් කිරිබත් කෑ වුන් යළි කොටි නැඟිටලා යැයි හඬතළන්නේ අන් කිසිවක් නිසා නොව දකුණ යළි රැවටීමටය. මහ ඇමැති විග්නේශ්වරන්ගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් සභාව සම්මත කර ගෙන ඇති යෝජනාව දකුණේ අන්තවාදීන්ට හා ජාතිවාදීන්ට රසමසවුළක් වන්නේ එනිසාය.

විග්නේශ්වරන්ලා සම්බන්දන්ලා ඉල්ලන වෙනම පාර්ලිමේන්තුවක් සහිත ප්‍රාන්ත ආණ්ඩු පාලනයක් ලබාදීමට රජය එකඟවේ යැයි සිතිය නොහැකිය. 


එවැනි බලතල ලබාදීමක් අනිවාර්යයෙන් රට බෙදා ඊළමට පාර කැපීමක් ලෙස අර්ථ දක්වා දකුණ අවුළුවාලීම අන්තවාදීන්ට අසීරු නොවීම ඊට හේතුවය. දකුණේ සිංහල බහුතරයේ සහාය නොමැතිව ආණ්ඩුවකට පැවැතීමට නොහැකිය.

කෙසේ වුවද එල්ටීටීඊය බලවත්ව සිටි කාලයේ වරෙක බලය බෙදා ගැනීම සඳහා යෝජනාවලියක් රජයට ඉදිරිපත් කළේය. ඊට රජය එකඟතාව පළ කෙළේ නැත. උතුරු පළාත් සභාවටද යෝජනාවක් සම්මත කර ඉදිරිපත් කිරීමට අයිතියක් ඇත. 


අදාළ යෝජනාව පිළිගන්නවාද නැද්ද යන්න වෙනම කාරණයකි. සිංහල, දෙමළ, මුස්ලිම් යන ප්‍රධාන ජාතීන් එකඟ වන බලය බෙදාහැරීමේ මොඩලයක්් මිස අනෙකක් රටේ ක්‍රියාත්මක කිරීමට නොහැකිය. 

සාකච්ඡාවකින්, සංවාදයකින් තොරව කඩිමුඩියේ අස්සන් කළ 1987 ඉන්දු - ලංකා ගිවිසුමට නැඟුණු විරෝධය අවසන් වූයේ දකුණ මිනීකනත්තක් කරමිනි. 

උතුරේ චෙල්වනායගම්ලාට, අමීර්තලිංගම්ලාට කන්නොදීම නිසා අවසානයේ සිදුවූයේ ප්‍රභාකරන්ලා, මහේෂ්වරන්ලා වැනි තුවක්කු අතින් ගත්තවුන්ට මුහුණදීමටය. 'ගැටුම' අවසන් වූයේ රට ලේ සාගරයක ගිලී යෑමෙන් අනතුරුවය.

උතුරේ ඊළාම් කොටි, යුද්ධයෙන් පරාජය කර මේ ගෙවී යන්නේ හත්වැනි අවුරුද්ද වුවද උතුරේ ප්‍රශ්නයට ස්ථාවර දේශපාලන විසඳුමක් ලබාදීමට තවමත් පාලකයන්ට නොහැකි වී ඇත. 


මෙවැනි බරපතළ යෝජනා උතුරේ දෙමළ නියෝජිතයන් ඉදිරිපත් කරන්නේත්, 'කොටි' යළි නැඟිටිනවා යැයි භීතිකාවක් දකුණේ පැතිරෙමින් පවතින්නේත් ඒ නිසාය. 

රට දෙකඩ කර වෙනම රාජ්‍යයක් දිනාගත යුතුය යන අන්තවාදී ස්ථාවරයේ සිටින දෙමළ කොටස් මෙරට මෙන්ම පිටරටද තවමත් සිටිති. මැදුම්පිළිවෙතකට යෑමට උත්සාහ දරන දෙමළ නායකයන්ට ඔවුහු විරුද්ධ වෙති. උතුරු පළාත් සභාව මෙවැනි යෝජනාවක් සම්මත කර ගැනීමට ඔවුන්ගේ බලපෑමද හේතුවූවා විය හැකිය.


සන්නද්ධ දේශපාලනයට උතුරේ යළි ඉඩක් නැත. එල්ටීටීඊය වැනි අන්තවාදී සංවිධාන වටා මින් පසු දෙමළ ජනතාව එක්රොක් වේ යැයි සිතිය නොහැකිය. ඒ නිසා පාලකයන් කළ යුත්තේ නොපමාව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමගාමීව ස්ථාවර දේශපාලන විසඳුමක් යෝජනා කිරීමය. ඒ සඳහා රාජපක්ෂ ආණ්ඩු සමයේ පත්කළ 'තිස්ස විතාරණ කමිටු' යෝජනා හොඳ පදනමකි.

උතුර ඇතුළු සියලු පළාත් සභාවලට උපරිමාකාරයෙන් බලය ලබාදිය යුතුය. බලය බෙදීමෙන් රට බෙදන බවට දකුණේ ඇති අඥාන මතය මෙන්ම හුඹස් බිය දුරුකළ යුතු වන අතර 'ප්‍රාන්ත ආණ්ඩු' වැනි ඊනියා ඉල්ලීම් ඉදිරිපත් කර සියල්ල අවුල් වන ආකාරයට 'උතුර' වැඩ කළ යුතුද නැත. 


බලය බෙදන්නැයි ඉල්ලන්නන්ට 'කොටි' ලේබල් ඇලවීමද යුක්ති යුක්ත නොවේ. සංහිඳියාව ඇති වී රට ස්ථාවර වේ නම් සිංහල හෝ දෙමළ හෝ අන්තවාදයන්ට යට නොවී උපරිමයෙන් බලය බෙදීමට කටයුතු කළ යුතුය.
 
Related Posts with Thumbnails