Ads 468x60px

.

විදුලි බිල නැවත වැඩිවන තෙක්‌ උපේක්‍ෂාවෙන් බලා සිටිමු......


එළැඹෙන මැයි 02 වැනිදා සිට වැට්‌ බදු වැඩි කිරීමට නියමිතය. එම වැඩි කිරීම විදුලි බිලට බල නොපාන බව ආණ්‌ඩුව මේ වනවිටත් කියා තිබේ. එහෙත් රටේ බොහෝමයක්‌ දෙනා තුළ මේ ගැන ඇත්තේ අවිශ්වාසය මුසුවූ හැඟීමකි. ඊට හේතු තිබේ. 

වැට්‌ වැඩි කරන්නේ රජයට ආදායමක්‌ උපයා ගන්නටය. එහෙත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවාවලට සහන ලබාදී එම ආදායම සපයා ගන්නේ කොහොමද යන්න ආණ්‌ඩුව පැහැදිලි කර නැත. ජනතාවට සැක සංකා මතුවන්නේ ඒනිසාය. කෙසේ හෝ අප මේ කතා කරන්නට
යන්නේ බදු ගැන නොවේ රටේ විදුලි බලය ගැනය.

ආණ්‌ඩුව විදුලිය ගැන කතා කරන හැම මොහොතකම රටේ ජනතාව වෝල්ට්‌ 33,000 හේ විදුලිසර වැදුණාටත් වඩා සැරට පිච්චෙති. ජනතාව කල්පනා කරන්නේ ඊළඟ විදුලිබිල වැඩිවීමට තමන්ගේ වැටුපෙන් කොටසක්‌ අයින් කරන්නේ කෙසේද යන්නය.

හැම ආණ්‌ඩුවක්‌ම විදුලිබලය සමග සෙල්ලම් කර තිබේ. යහපාලන ආණ්‌ඩුවේ ද වෙනසක්‌ නැති බව ඊයේ පෙරේදා සාක්‍ෂි සහිතව ඔප්පු කර තිබෙන නිසාම ජනතාව සැකයෙන් අවිශ්වාසයෙන් කටයුතු කිරීම සාධාරණය. ලංකා විදුලිබල මණ්‌ඩලය පසුගිය දවසක කැබිනෙට්‌ටුවට පවා කොළේ වසා ගැසීමක්‌ කර තිබිණි. 


කතාව මෙසේය.

හම්බන්තොට, ගාල්ල, හබරණ යන ප්‍රදේශ තුනක පිහිටි පෞද්ගලික බලාගාර තුනකින් මෙගාවොට්‌ 35 ක විදුලිය මිලදී ගැනීමක්‌ සිදු කළ යුතු බව දන්වා විදුලිබල මණ්‌ඩලය මේ මාසයේ මුල් සතියේදී කැබිනට්‌ මණ්‌ඩලයට පත්‍රිකාවක්‌ ඉදිරිපත් කර තිබේ. 


කැබිනට්‌ මණ්‌ඩලය එම කැබිනට්‌ පත්‍රිකාව අනුමත කර ඇත. සම්මත කර ගත් ඒ යෝජනාව සඳහා අවසරය ලබා ගැනීමට විදුලිබල මණ්‌ඩලය ඒ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කර ඇත. එහෙත් ඒ යොමු කිරීමේදී අපූරු ඉලක්‌කම් මාරු කිරීමක්‌ සිදුව තිබේ. 

එනම්, කැබිනට්‌ මණ්‌ඩලයේදී 35 ක්‌ වූ මෙගාවොට්‌ ප්‍රමාණය 55 මෙගාවොට්‌ බවට පත්වීමය. මහජන උපයෝගිතා කොමිසම එම අවසරය ලබා දීම ප්‍රතික්‍ෂේප කරමින් ලිපියක්‌ යොමු කරන්නට කටයුතු කර ඇත. 

ඒ ඉලක්‌කම් වරද්දා ගැනීමේ" (මෙය අතපසුවීමක්‌ යෑයි කීමට බොහෝ සෙයින් ඉඩ ඇත.) නිසා නොවේ. එවැනි "හදිසි විදුලිය මිලදී ගැනීමක්‌" අවශ්‍ය නොවන නිසාය. ගණන් හිලව් වරද්දා ගැනීම ගැන ද ලිපියේ අවධානය යොමු කර තිබේ.

විදුලිබල මණ්‌ඩලය මෙවැනි වරද්දා ගැනීම්වලට, කප් ගහපු ආයතනයකි. කෝප් වාර්තාවේ හැම අවුරුද්දකම නොවරදවාම නම සටහන් වන ආයතනයකි. හදිසි විදුලිය බිඳවැටීම්වලට, නොරොච්චෝලේ නිතර අක්‍රීය වීම ගැන හරිහැටි උත්තරයක්‌ සපයා ගන්නට බැරි ආයතනයකි. 


ඒ හැමදේටම වඩා වංචාව, දූෂණයට නමගිය තැනකි. අන්තිමේදී ඒ සියලු පව්වලට කර ගසන්නට සිදුවන්නේ රටේ ජනතාවටය. රටේ ජනතාව මේ සිදුවීම් ගැන සැකයෙන් අවිශ්වාසයෙන් බලන එක සාධාරණ බව නැවතත් සිහිපත් කරමු.

නොරොච්චෝලේ කැඩෙන කැඩෙන මොහොතක අහිමි වන මෙගාවොට්‌ ප්‍රමාණයත් කවර හෝ විකල්ප ක්‍රමයක්‌ මගින් සපුරා ගැනීමට සිදු වේ. ඒවාට වැය වෙන්නේ ඉතා සුළු මුදලක්‌ නම් නොවේ. 


ඉහත සඳහන් කළ විදුලිය මිලදී ගැනීම සිදු කළා නම් බිලියන තුනක පමණ මුදලක්‌ ඊට වැය කරන්නට සිදුවන බව කියති. අදාළ පෞද්ගලික බලාගාරවලින් එකක්‌ විදුලි ඒකකයක්‌ ලබාදෙන්නේ රුපියල් 29 කටය. 

එහෙත් නොරොච්චෝලේ නිෂ්පාදනය කරන විදුලි ඒකකයක වටිනාකම රුපියල් 6 ක්‌ පමණ බවද වාර්තා වේ. මෙවැනි තකතීරුකම් හැඳින්විය යුත්තේ වංචාව, දූෂණය, තක්‌කඩිකම යන වචනවලින් හැර වෙන කවරාකාරයකට යන්න අපට තේරෙන්නේ නැත.

මාසේ පඩියෙන් විදුලි බිල සඳහා වැඩි කොටසක්‌ වැය කරන ලෝකයේ එකම ජාතිය වන අප මෙවැනි අමනකම් තවදුරටත් ඉවසමින්, රටේ පාලකයන් අප මත පටවන තවත් ප්‍රශ්න රාශියක්‌ ද හිස මත දරා ගනිමින් සිටින බව පමණක්‌ මතක්‌ කර සිටිමු. විදුලි බිල නැවත වැඩිවන තෙක්‌ අපි ඒ උපේක්‍ෂාවෙන්ම බලා සිටිමු.
 
Related Posts with Thumbnails