Ads 468x60px

.

ආණ්‌ඩුවේ වචන ලස්‌සන වුණාට ක්‍රියාව ලස්‌සන නැති බව...


වර්තමාන ආණ්‌ඩුවේ ඇමැති සංයුතිය ව්‍යවස්‌ථාවට පටහැනි නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව කියමින් ශේ්‍රෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කර ඇති බව පසුගිය සතිය අවසන් වන විට වාර්තා විය. 

ඒ අනුව වත්මන් ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැතිවරුන් නියෝජ්‍ය ඇමැති වරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන්ගේ පත්වීම් බල ශුන්‍ය කරන ලෙසද එමගින් ඉල්ලා තිබිණි.

ඇත්ත වශයෙන්ම එම පෙත්සම කවරෙකු විසින් ඉදිරිපත් කර ලැබ තිබුණද එය ටිකක්‌ කල් ගිය, හොඳ වැඩක්‌ ලෙස අපි දකිමු. මෙය

"පෙත්සම්" නොව "කැලෑ පත්තර" ගැසිය යුතු තත්ත්වයකි.

ඇමැති මණ්‌ඩලය අඩුකර වියදම් ද අඩුකරන බවට පසුගිය මැතිවරණ සමයේ ලොරි ගණනින් දුන් පොරොන්දු සිහි විකල් වූ කෙනකුට හැර වෙනත් කිසිවකුට හෝ අමතක වී තිබිය නොහැක. පසුගිය මැතිවරණ යෙන් පසු සති දෙකක්‌ ඉක්‌ම යනතුරුත්, ඇමැති මණ්‌ඩලය තීරණය කිරීම බරපතළ අවුලක්‌ බවට පත්ව තිබිණි. ඇමැතිවරු සංඛ්‍යාව

30කට වඩා වැඩි කිරීමට අවශ්‍ය වුවද 19 වැනි සංශෝධනයට අනුව එය පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතුව තිබිණි. ඇමැති මණ්‌ඩලය 88 දක්‌වා වැඩිවන්නේ ඒ අනුවය. එවක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇමැති සංඛ්‍යාව වැඩි කිරීම ගැන කීවේ "ආණ්‌ඩුවේ වචන ලස්‌සන වුණාට ක්‍රියාව ලස්‌සන නැතැයි" යනුවෙනි.

වත්මන් ආණ්‌ඩුවෙන් ඇමැති සංඛ්‍යාව අඩුකිරීම ගැන ජනතාව තුළ විශාල බලාපොරොත්තුවක්‌ තිබිණි. "ඇමැති බර" අඩු කිරීමේ වුවමනාවට නිල්, කොළ, රතු වශයෙන් පාට, පක්‍ෂ බේදයක්‌ තිබුණේ නැත. එය පොදු අවශ්‍යතාවක්‌ බවට පත්ව තිබිණි.

ඇත්තම කතාව නම් රටේ මිනිසුන් දස දෙනකුට එකා බැගින් ඇමැතිවරු පත් කළද කිසිවකුත් දොස්‌ කියන්නේ නැත. එහෙත් ඇමැති මණ්‌ඩලයක්‌ නඩත්තු කරන්නට යන වියදමත්, රට හමුවේ ඇති මූල්‍ය අර්බුදය ගැනත් වරක්‌, දෙවරක්‌ නොව සිය දහස්‌ වරක්‌ කල්පනා කළ යුතුය. 


රට හදන්නට සැබෑ වුවමනාවක්‌ ඇති අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්‌ වීම පමණක්‌ සෑහෙන බව අපි විශ්වාස කරමු. මේ වන විට ඇමැති සංඛ්‍යාව 88ක්‌ දක්‌වා වර්ධනය වී තිබෙන්නේ ජාතික ආණ්‌ඩුවේ පක්‍ෂ දෙකට බෙදා ගන්නට මිස රටට වැඩ කරන්නට නොවන බව පෙනේ.

ඇමැති මණ්‌ඩලය පත්කර ඇති ආකාරය ගැන ප්‍රශ්න තිබෙන බව පසුගිය කාලයේ ප්‍රායෝගිකවම ඔප්පු වී තිබිණි. බැලූ බැල්මටම පෙනෙන්නේ මේ ඇමැතිධුර බෙදීමේ ක්‍රියාවලියම බරපතළ අර්බුදයක්‌ බවය. 


නියමිත අමාත්‍යාංශ සඳහා ඒ ඒ විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක්‌ ඇති සීමිත පිරිසක්‌ තෝරා ගැනීම කළයුත්තකි. විෂය බද්ධ අමාත්‍යාංශ හා ඊට අදාළ විෂය පථ එකිනෙක සම්බන්ධ වන සේ අමාත්‍යාංශ සම්බන්ධී කරණය වන්නේ නම් ඇමැති ධුර සංඛ්‍යාව අවම කර ගැනීමට හැකියාව ලැබේ.

උදාහරණ හැටියට ගොවිජන සේවා, කෘෂිකර්ම, පශු සම්පත්, සමුපකාර, වෙළෙඳ, සුළු අපනයන බෝග, පොල් සංවර්ධන, වැවිලි කර්මාන්ත, එක්‌ අමාත්‍යාංශයක්‌ බවට පත් කිරීමේ හැකියාව තිබේ. 


අධ්‍යාපන, උසස්‌ අධ්‍යාපන, වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්ද එක්‌ අමාත්‍යාංශයක්‌ බවට පත් කිරීමේ හැකියාව තිබේ. මෙවැනි වැඩපිළිවෙළක්‌ සඳහා ආණ්‌ඩුව ප්‍රවේශයක්‌ ගතහොත් අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි මිලදී ගැනීම්, කුලියට ගැනීම් ආදියට වැයවන මුදලද ඉතිරිවනු ඇත.

එමෙන්ම තවත් බොහෝ වියදම් ඉතිරිවනු නිසැකය. මෙය රටේ පාලකයන් තවමත් අවබෝධ කරගෙන ඇති බවක්‌ පෙනෙන්නට නැත. එවැනි උදවිය සිටියේ නම් අපට "පටි තද කර ගන්නට" වන්නේද නැත.
 
Related Posts with Thumbnails