Ads 468x60px

.

සී.සී.ටී.වී. දඩ කොළේ ෂේප් කිරීමට පෙරම අතුරුදන් නොවිය යුතු බව...


පසුගිය වසරේ එනම් 2015 වර්ෂයේ අගභාගයේ මෙන්ම මෙම වර්ෂයේ (2016) මුල් භාගයේදී රිය අනතුරු බහුල වශයෙන් වාර්තා විණි. වර්ත මානය වන විටත් දිනකට එකක්‌ දෙකක්‌ හෝ මාරක රිය අනතුරක්‌ පිළිබඳ වාර්තා වේ.

පැහැදිලිවම කිවයුතු කාරණයක්‌ තිබේ. එනම් මෙවැනි මාරක රිය අනතුරු වලට ප්‍රධානතම හේතුව වන්නේ රියෑදුරන්ගේ සේම පදිකයන්

ගේද අවිනීත ක්‍රියා කලාපයන් බවය. බොහෝ රියෑදුරන්ට මහ පාර යනු තමන්ගේ "ගෙදර මිදුල"ය. 

ඒ නිසාම මහමග යන අනෙකුත් වාහන ගැන තැකීමක්‌ නැත. තමන්ගේ ගෙදර මිදුලේ සෙල්ලම් දැමිය හැක්‌කේ තමාට පමණක්‌ යෑයි සිතා මුග්ධ ලෙස වාහන ධාවනය කරන එවැනි එකකු දෙන්නකු මාරක තොරතුරු සැපයීමේ මූලිකත්වය ගනිති.

ඊයේ (04දා) සිට රථ වාහන වැරදි සී.සී.ටී.වී. (C.C.T.V) මගින් නරඹා ගෙදරටම දඩකොළය බාරදීමේ ක්‍රමය මෙවැනි නාසරානියන් සියයට සියයක්‌ම නොවෙතත් හරි අඩකින් හෝ අඩු කිරීමට තරම් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. 


මාර්ග සංඥ අසලද, හන්දියක්‌ ගාණේද කොතරම් පොලිසිය යොදවා සිටියද මාර්ග නීති රීති කඩකරන උදවියගේ අඩුවක්‌ දක්‌නට නැති බව කිව යුතුය. බොහෝ විට "කහ ඉර" ගැන බොහෝ රියෑදුරන් කිසිදු තැකීමක්‌ නොකරන බව පෙනෙන්නට තිබේ. 

ඉනිදු බොහෝ යතුරු පැදිකරුවන් සහ ත්‍රිරෝද රථ පෙරමුණේම සිටිති. පදිකයකු කහ ඉර මතින් පාර මාරුවන අවස්‌ථාවක හෝ වේගය අඩු කිරීමට මේ අයට කල්පනා වෙන්නේ නැති බවක්‌ පෙනේ.

2015 වර්ෂයේ මාස එකොළහක පමණ කාලයක්‌ තුළ මාරක රිය අනතුරු 2360 ක්‌ සිදුවී එම අනතුරුවලින් 2538 දෙනෙකු මියගිය බව වාර්තා වී තිබිණි. එම රිය අනතුරු වලින් 760 දෙනකු මියගොස්‌ තිබුණේ යතුරුපැදි අනතුරුවලිනි. 


මාර්ග ආරක්‍ෂාව පිළිබඳව ජාතික සභාවේ වාර්තාවලට අනුව මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යන මාර්ග රිය අනතුරු හේතුවෙන් රට තුළ දිනකට පුද්ගලයන් 6-7 ක්‌ අතර ප්‍රමාණයකට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ.

මාර්ග නීති නිසි ලෙස පිළිනොපදින, විනයගරුක නොවන තාක්‌ මේ ප්‍රශ්නයට නිසි පිළියම් යෙදිය නොහැකි බව අපේ විශ්වාසයයි. වාහන තදබදය ඇති මොහොතක පමණක්‌ නොව දවසේ ඕනෑම වෙලාවක මහා මාර්ගයේ ගමන් කරන වාහන කොතරම් සංඛ්‍යාවක්‌ මාර්ග නීති පිළිපදිමින්, විනයගරුකව ගමන් කරන්නේද? නැද්ද? යන වග ඕනෑම කෙනකුට විමර්ශනය කර ඇත්ත තේරුම්ගත හැක. 


කහ ඉරක්‌, මාර්ග සංඥා පුවරුවක්‌, හෝ දුම්රිය ගේට්‌ටුවක්‌ අසලට යන ඕනෑම කෙනකුට අං නොමැති මුත් වාහන පදවන මීහරක්‌ කොපමණ සංඛ්‍යාවක්‌ සිටීදැයි දැනගැනීමට හැකියාව ලැබේ. ඉදිරියේදී සී.සී.ටී.වී. කැමරාවට හසුවීමට නියමිතව ඇත්තේ මෙවැන්නන්ය.

බොහෝ රටවල ක්‍රියාත්මක වෙමින් තිබෙන මෙවැනි විධිමත් ක්‍රමයක්‌ පමාවී හෝ ස්‌ථාපිත කිරීම සතුටට කරුණක්‌ බවද කිව යුතුය. එක්‌ අතකින් මාර්ග නීති කඩ කිරීමකදී දඩ කොළයක්‌ නිකුත් කිරීමට සැරසෙන පොලිස්‌ නිලධාරියාට පාට්‌ පෙන්නන්නට යන මැට්‌ටන්ද, පොලිසියට නීතිය උගන්වමින් මාරුවන්නට තැත්කරන "සැපකාර්" වල යන මහත්වරුන්ටද මෙය තරමක හිතේ අමාරුවට කාරණයක්‌ විය හැකිය. 


දඩය වෙනුවට සම්තින්ග් එකකින් වැඩේ ෂේප් කරන කොයි කාටත් වැඩේ සීරියස්‌වීම වැළැක්‌විය නොහැක. අපි නැවතත් කියමු. මහ පාර යනු රියෑදුරන්ගේත් පදිකයන්ගේත් "විනය" නිවැරදිව අවබෝධ කරගත හැකි තැනකි. 

එහෙත් මේ විනය සාමාන්‍ය ජනතාවට පමණක්‌ නොව ප්‍රභූ, දේශපාලන පැලැන්තියේ කාටත් පොදු විය යුතුය. සී.සී.ටී.වී. දඩ කොළේ එවැනි උදවිය ෂේප් කිරීමට පෙරම අතුරුදන් කරවන තැනකට මේ ක්‍රමය පත් නොවිය යුතුය.
 
Related Posts with Thumbnails