Ads 468x60px

.

"අවුරුදු" තෑග්ග නූලෙන් මිස්‌වීම..


පසුගිය කාලය පුරාම කුඩු ඇල්ලූ හැටියට "දැන් ඉවරයි" කියා හිත හදාගෙන ටිකක්‌ එහා මෙහා වන විට ආයෙත් කුඩු ගැන "නැව්" කතා අසන්නට වී තිබේ. කුඩු මර්දනය කිරීම බොහෝ දෙනකු සිතා සිටිනවාට වඩා බැරෑරුම් කාර්යයක්‌ බවද මේ වන විට සනාථ වී තිබේ. 

මෙවර කුඩු කිලෝ එකසිය දහයක ප්‍රමාණයක්‌ හසුවී තිබුණේ දකුණේ මුහුදේදීය. කුඩු නැව අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබුණේ දීර්ඝ විමර්ශනයකින් පසුව නම් නොවේ.

කවුරු හෝ පුද්ගලයකු විසින් නවගමුව පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂක වරයාට දෙනු ලැබ තිබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබිණි. එය එසේ නොවන්නට ස්‌ථිර වශයෙන්ම මේ වන විටත් කුඩු

කිලෝ සියය රටපුරා බෙදාහැර අවසන්ය. කුඩු භාවිත කරන්නන්ට ලැබෙන්නට තිබුණු "අවුරුදු" තෑග්ග නූලෙන් මිස්‌වීම වෙනම කාරණයකි.

මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ජාලය කුඩු බෙදාහැරීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන බව පෙනෙන්නට තිබේ. "තැපෑල" හරහා ද මත්ද්‍රව්‍ය බෙදාහරින ජාවාරමක්‌ ඇති බව වාර්තා වී තවමත් සතියක්‌ දෙකක්‌ ගෙවී ගොස්‌ නැත. මහ මුහුදේ කුඩු ජාවාරම ගැන මීට පෙරද වාර්තා වී තිබිණි. 


ඒ ඩිංගි බෝට්‌ටු හෝ ට්‍රොලර් යාත්‍රා මගිනි. නමුත් මෙවර කුඩු ගෙනැවිත් තිබුණේ තඩි නැවකිනි. විශාල නැවෙහි කුඩු තිබුණේ කිලෝ සියයක්‌ වුවද ඉදිරියේදී නැවක්‌ පිරෙන්නට වුව බඩු පැමිණීමේ හැකියාවක්‌ නැතැයි කිව හැක්‌කේ කාටද?

අප කලිනුත් සඳහන් කර ඇති පරිදි කුඩු ජාවාරම්කරුවන් සිය පැවැත්ම ජයටම කරගෙන යැමට හඳුනාගත් සුපිරි රටවල් කිහිපයක්‌ තිබේ. ඉන්දියාව, මාලදිවයින, පාකිස්‌තානය, තායිලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව ඒ අතර ඉදිරියෙන් ඇති රටවල් බව කිව යුතුය. 


මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අවශ්‍ය වන්නේ තමාගේ බඩු ටික ඉක්‌මනින් සමාජයට යවා ඉක්‌මනින් කුඩුලෝලීන් (පාරිභෝගිකයන්) පිරිසක්‌ බෝ කර ගැනීමය. ඉහත සඳහන් කළ බොහෝ රටවල අලුතින්ම ගැනුම්කරුවන් බෝකිරීමේ අවශ්‍යතාවක්‌ නැත. කුඩු ජාවාරම්කරුවෝ ඒ බව හොඳින්ම දනිති.

බෙදාහැරීමේ කාරණයට මේ කියන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් කිසිවෙකුත් සම්බන්ධ වන්නේ නැත. එවැනි ජාවාරම්කරුවන්ගේ කුඩු කොම්පැණිවල අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ කිසිවෙකුත් අත්අඩංගුවට පත්වන්නේද නැත. සාමාන්‍යයෙන් අතරමැදි ඒජන්තවරයකු අත්අඩංගුවට ගැනීම් වාර්තා වන්නේද කලාතුරකිනි. 


සැබෑව නම් මෙරට බන්ධනාගාර පිරී ඉතිරී යන්නේ බිම් මට්‌ටමේ සිටින තැරැව්කාර කුඩු බිස්‌නස්‌කරුවන්ගෙනි. එවැන්නකු අත්අඩංගුවට පත්වූ පමණින් කුඩු ජාවාරම නතර වන්නේ නැත. ජාලය මෙහෙය වන්නාට තවත් තැරැව්කරුවන් සොයා ගැනීමේ අපහසුවක්‌ද නැත. 

ඒ නිසාම කුඩු ජාවාරමට වැට බැඳීමද ලෙහෙසි නැත. මෙය සරලව වටහාගත හැකිය. රටේ නමගිය බොහෝ කුඩු ජාවාරම්කරුවන් බුරුතු පිටින් පසුගිය කාලය පුරා අත්අඩංගුවට ගත්තද, කුඩු තොග පිටින් අත්අඩංගුවට ගත්තද එහි අඩුවක්‌ දක්‌නට නැත්තේ ඒ නිසාය.

ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ මෙම තෝරු මෝරු සොයා ගැනීම විනා හාල්මැස්‌සන්ගෙන් බන්ධනාගාර පිරවීම නොවේ. එහෙත් කෙරුමෙකු සොයා ගැනීම එතරම්ම ලෙහෙසි පහසු දෙයක්‌ නොවන්නේ දේශපාලන සබඳතා මෙන්ම තවත් බොහෝ බලවත් උදවියගේ හිත මිතුරුකම් හේතුවෙනි. 


කුඩුවලින් ඉපැයූ ආදායම යොදවා බොහෝ දේ මිලට ගැනීමට හැකි බවත් පුද්ගල චරිත මිලට ගැනීමට ඇති හැකියාවත් මෙවැනි ජාවාරම් කරුවන්ට නිදැල්ලේ සිටීමට අවශ්‍ය පසුබිම සකස්‌ කර දේ. 

කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොහෝ නමගිය චරිත බන්ධනාගාරය තුළ සිටම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන්නේ යෑයි තොරතුරු ලැබෙන්නේද සල්ලි විසි කිරීමේ අනුහස නිසා බව කිව යුතුය. තවත් අය ජාවාරම මෙහෙය වන්නේ රටෙන් පිට සිටය. 

මේ රට ජාත්‍යන්තර කුඩු මධ්‍යස්‌ථානයක්‌ වීමට පෙරාතුව අවධානය යොමුකළ යුතු කාරණා බොහොමයකි. දැන් අවශ්‍ය වන්නේ ඉක්‌මනින්ම තත්ත්වය පිටුදැකීම උදෙසා අවශ්‍ය පූර්ණ බලය අදාළ අංශවලට ලබාදීමය.
 
Related Posts with Thumbnails