Ads 468x60px

.

රටේ ජනතාවට 'පටිය තදකර ගන්නටම' වීම අනිවාර්ය බව..


තවත් රාජ්‍ය ඇමැතිවරයකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇති බව ඊයේ (07 දා) වාර්තා වී තිබිණි.

ඒ අනුව මේ වන විට ඇමැතිවරු 46 ක්‌ද, රාජ්‍ය ඇමැතිවරු 20ක්‌ ද, නියෝජ්‍ය ඇමැතිවරු 25 ක්‌ද ලෙසින් ඇමැති සංඛ්‍යාව 91 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. පසුගිය 6 වැනිදා මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන විට ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සඳහන් කළේ තවත් අයට

ආණ්‌ඩුවට විත් ඇමැතිකම් ගැනීමට ඉඩ තිබෙන බව ය. 

අප විශ්වාස කරන්නේ ද මේ ඇමැති පෝලිම තවත් දිග්ගැස්‌සෙන්නට ඉඩ ඇති බව ය. පරණ ආණ්‌ඩුවේ වැරදි කියමින්, ඒ ආණ්‌ඩුවේ රෙකෝඩ් කඩමින් යන ආකාරයට ඇමැතිවරු ගණන තවත් දහයකින් පහළොවකින් එහා මෙහා වීමේ වරදක්‌ නැත.

කැබිනට්‌, රාජ්‍ය, නියෝජ්‍ය, ව්‍යාපෘති මේ ආදී වශයෙන් විවිධ ප්‍රභේදවලට අයත් මැති ඇමැතිවරුන්ගෙන් පිරීගත් ලොව විශාලතම ඇමැති මණ්‌ඩලය හිමි රට හැටියට වාර්තා තැබුවේ ශ්‍රී ලංකාව ය. එවැනි ඉතිහාසගත වාර්තාවක්‌ අබිබවා යන්නට මේ ආණ්‌ඩුවේ අකමැති කිසිවකුත් සිටිය නො හැක. 


අපේ රටේ ඇමැති මණ්‌ඩලය තෝරන්නේ අපූරු ආකාරයට ය. පිල් මාරු කළ අයටත්, පිල් මාරු කිරීමට සූදානම් යෑයි කියන අයටත් ලැබෙන මසුරන් වටිනා තෑග්ග කුමන වර්ගයේ හෝ ඇමැතිකමකි. කෙරුවාව කවර එකක්‌ වුවද වැඩිම මනාප ගත් මන්ත්‍රීවරයා සතුටු කරන්නට දෙන පිදේනියත් ඇමැති පට්‌ටමය. 

ඔළු ගෙඩි ටික එහා මෙහා කර බහුතර බලය හදා ගන්නට දෙන්නෙත් ඇමැතිකම් ය. රටට ජනතාවට වැඩක්‌ වන ආකාරයට නියමිත විෂයයන් තෝරා ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු පත් කිරීමේ ක්‍රමය අහෝසි වී ගොස්‌ බොහෝ කල් ය.

2015 ජනවාරි 08 වැනිදායින් පසු ඇමැති බර අඩු කිරීම කෙරෙහි ආණ්‌ඩුව වැඩි බරක්‌ දරනු ඇතැයි ජනතාව විශ්වාස කළහ. ජනතාව එසේ සිතන්නට සාධාරණ හේතු තිබිණි. ඉකුත් ජනාධිපතිවරණයේදීත්, මහා මැතිවරණයේදීත් වත්මන් ආණ්‌ඩුව එවැන්නක්‌ ගැන කී කතාව ජනතාව තුළ විශ්වාසය ගොඩනංවා තිබිණි. 


ඇත්තෙන්ම ඒ විශ්වාසය තුළ නිල්, කොළ, රතු වශයෙන් පාට තිබුණේ ද නැත. වත්මන් ආණ්‌ඩුවත් සම්මත කරගත් 19 වැනි සංශෝධනයෙන් ද ඇමැති ධුර සංඛ්‍යාව තීරණය කර තිබුණේ 30 ක්‌ ලෙසය. 

ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සිට 19 වැනි සංශෝධනය දක්‌වා ජනතාව තැබූ විශ්වාසය බිඳ දමන්නට ආණ්‌ඩුවත් වැඩි කල් ගත්තේ නැත. දුසිම් ගණනින් වුව ඇමැතිවරු පත් කිරීම ගැන අපේ අමනාපයක්‌ නැත. 

එහෙත් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ නඩත්තු කරන්නට යන වියදම ගැනත්, රට පත්ව ඇති මූල්‍ය අර්බුදය ගැනත් වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌ වරක්‌ කල්පනා කළ යුතු බව අපි කියමු. (රටේ මූල්‍ය අර්බුදයක්‌ තිබෙන බවත්, ඒ නිසාම බදුබර වැඩි වන බවත් පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කළ බව කිව යුතු ය. එමෙන්ම ආණ්‌ඩුවේ ඇමැතිවරු මාධ්‍යයට ඒ බව ප්‍රකාශ කළ බව ද සටහන් කරමු.)

ඇමැති ධුර සංඛ්‍යාව රටේ ආර්ථිකයට පවා ඔරොත්තු නොදෙන ආකාරයට ඉහළ දැමුවේ 2000 වර්ෂයේ පැවැති මහ මැතිවරණයෙන් පසු තේරී පත් වූ ච
න්ද්‍රිකා කුමාරතුංග රජයයි. 2001 දී බලයට පත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජය ද ඇමැති ධුර සංඛ්‍යාව 75 ක්‌ දක්‌වා ඉහළ දැමී ය. 2013 දී බලයට පත් ආණ්‌ඩුවේ ඇමැතිධුර සංඛ්‍යාව ද 104 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි.

මේ සියලු ඇමැතිවරුන්ට සිය වැටුපට අමතරව දීමනා, වරප්‍රසාද රැසක්‌ හිමිවේ. ජනතාවට සේවය කිරීම උදෙසා පත් කර යවන ජනතා නියෝජිතයෝ සිය බදුමුදලින් නඩත්තු කිරීමට සිදුවන්නේ ජනතාවට ය. 


ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාම කී පරිදි 'තවත් ඇමැතිකම්' ඉල්ලූ අය ද පාර්ලිමේන්තුවේ සිටිති. එයින් කියෑවෙන්නේ තත්ත්වය තරමක්‌ බරපතළ බව ය. නැවතත් හෙට අනිද්දා වන විට ඇමැති මණ්‌ඩලය තව තවත් විශාල වීමත් රටේ ජනතාවට 'පටිය තදකර ගන්නටම' වීමත් අනිවාර්ය ය.
 
Related Posts with Thumbnails