Ads 468x60px

.

සූත්තරේ නම් හරි, ඒත්.. මගීන්ට මොකද වෙන්නේ!


බස්‌ ගැමුණු ගාස්‌තු වැඩිවීමක්‌ ඉල්ලා තිබේ. ප්‍රවාහන ඇමැතිවරයා කියන්නේ එය සිදු නොවන බවය. එහෙත් වැට්‌ බදු වැඩිවීමත් සමගම රටේ ජනතාව මෙය සිදුවිය හැකි දෙයක්‌ බව කලින්ම තීරණය කර තිබිණි. ඒ ජනප්‍රිය ජ්‍යෙතිෂඥයන්ගෙන් හෝ අනාවැකිකරුවන්ගෙන් අසා දැන නොවේ. "රට යන අත" ගැන තිබෙන අවබෝධයෙනි. 

වැට්‌ බදු වැඩිවීම රටේ ජනතාවට බලපාන්නේ නැතැයි කීවාට ඇත්තම තත්ත්වය එය නොවන බව ප්‍රායෝගිකව පෙනෙන්නට තිබේ. බස්‌
ගැමුණුගේ ගාස්‌තු වැඩිවීම්ද වැටෙන්නේ ඒ ප්‍රායෝගික ගොඩටමය. ගැමුණු කියන්නේ මෙහෙම කතාවකි. 

"වැට්‌ බද්ද සියයට 4 කින් වැඩිකිරීමත් සමගම පෞද්ගලික බස්‌ රථ කර්මාන්තයට අදාළ පිරිවැයවල ඉහළ යැමක්‌ සිදු වේ. ඒ අනුව ලබන ජුලි 01 වැනිදා සිදුවන වාර්ෂික බස්‌ ගාස්‌තු සංශෝධනයේදී බස්‌ ගාස්‌තු වැඩිවීමක්‌ අපේක්‍ෂා කෙරේ."

මේ කතාව සියයට සියයක්‌ම ඇත්ත විය හැක. ඉන්ධනවලට බලපාන්නේ නැති කරුණක්‌ වුව, බස්‌ රථයකට ගෙන්වන අමතර කොටස්‌, ටයර් මේ ආදී වශයෙන් බොහෝ දේවල මිලට වැට්‌ බද්ද එකතු කෙරේ. එවිට එම වියදම දරා ගැනීම පිණිස රටේ ජනතාවගේ බස්‌ ටිකට්‌ටුවට ඒ බර පැටවීම හැර ඒ උදවියට පෙනෙන විකල්පයක්‌ නැති වන්නට පිළිවන. 


ප්‍රශ්නය වන්නේ මේ වනවිට තමන්ගේම කියා වාහනයක්‌ ගන්නට බලාපොරොත්තු වූ අයත් තමන්ගේම වාහන භාවිත කරන අයත්, පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමයි. තමන්ගේම කියා වාහනයක්‌ තිබෙන අය "ඇති හැකි" අයම නොවේ. පුළුවන් හැටියට වාහනයක්‌ ගෙන නඩත්තු කරන අයයි. 

අධික වියදම හමුවේ සිය වාහනය භාවිත කරනවාට වඩා පොදු ප්‍රවාහනය භාවිත කිරීම සුදුසු යෑයි මෙවැනි බොහෝ දෙනෙක්‌ කල්පනා කරති. වාහනයක්‌ ගන්නට බලාපොරොත්තු වූ අය ගැන අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ දෙපිරිසටත් නිරන්තරයෙන්ම පොදු ප්‍රවාහනය භාවිත කළ පිරිසත් බස්‌ ගාස්‌තු වැඩිවීමකට මුහුණ දෙන්න වනවිට පත්වන අපහසුතාවය අමුතුවෙන් කිව යුතු නැත.

බස්‌ ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණ ගන්නා ඉහළම වගකිවයුතු ආයතනය වන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවය. ඒ අය කියන්නේ බස්‌ සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව එකඟ වූ මිල සූත්‍රය අනුව බස්‌ ගාස්‌තු වැඩිවිය හැකි බවය. සූත්තරේ කවරක්‌ වුවත් ඒ කොයි එකෙනුත් රටේ ජනතාවගේ බඩට වදින බවට සැකයක්‌ නැත.

රටේ ජනතාව පොදු ප්‍රවාහන සේවය සම්බන්ධයෙන් අත්විඳින්නේ හොඳම දේ නොවන බව පොදු ප්‍රවාහනය භාවිත කරන ඕනෑම කෙනෙක්‌ දන්නා කාරණයකි. බස්‌ නැවතුමකින් බසයට ගොඩවී ඊළඟ බස්‌ නැවතුමෙන් බහින්නටද රුපියල් 8 -12 ක මුදලක්‌ වැය වේ. 


ඒ ගමන ද යා යුත්තේ කොන්දොස්‌තරවරයාගේ කුණු බැණුම් මැද ඉදිරියටත් පසුපසටත් තල්ලුවෙමිනි. මගීන් පටවාගෙන යන අතරවාරයේ බස්‌ නැවතුමක අධික වේලාවක්‌ රස්‌තියාදු වීම, යන්නට පටන් ගත් මොහොතේ සිට කොට කොටා යැම පෞද්ගලික බස්‌ රථවලට ආවේණික ලක්‍ෂණය. බොහෝ පෞද්ගලික බස්‌ රථවල ඉතිරි මුදල් ඉල්ලීමට යැම තරම් අපරාධයක්‌ තවත් නැති ගාණය. 

එය කොන්දොස්‌තරගේ දැඩි කේන්තියට හේතු වේ. අප ඉල්ලන්නේ ණයට මුදලක්‌ නොව අපේ ඉතිරි මුදල් බව සමහර කොන්දොස්‌තර වරුන්ට තේරෙන්නේ නැත. රජයේ ප්‍රවාහන සේවය වුව මේ වනවිට කමකට නැති තත්ත්වයකට පත්ව ඇති බව කිව යුතුය. 

බස්‌රියේ කුණු දූවිලි, මලකඩ බොහෝය. ඒ බස්‌ රථ දුවන්නේ කොහොමද කියන එකත් පුදුමයකි. කොහොමත් අසන්නට ලැබෙන ආකාරයට ලංගමට පාඩුය. ඒ නිසාම රටේ ජනතාවට පෞද්ගලික බස්‌ රථවල ගමන් ගනිද්දී ලැබෙන කටුක අත්දැකීමත්, ලංගමයේ බරත් දරාගෙන මේ ගමන යැමට සිදුව තිබේ. අදාළ බලධාරීන් තේරුම් ගත යුත්තේ මේ කාරණයයි.

සූත්තරේට අනුව බස්‌ ගාස්‌තු වැඩි විය යුතු ම නම් ජනතාවටද එය සහනයක්‌ වන අයුරින් ක්‍රියාත්මක කළ යුතුය. පොදු ප්‍රවාහන සේවය මගී ජනතාවට පහසුකම් සපයන, ඇණයක්‌ නොවන සේවාවක්‌ බවට පරිවර්තනය කළ යුතුය.
 
Related Posts with Thumbnails