Ads 468x60px

.

මොබයිල් ෆෝන් එකට අකුණු වදිනවද ? අැත්ත නැත්ත මෙන්න


මේ දවස්වල හැමදාම වගේ හවස් වෙද්දි වහිනව. නිකම්ම නෙවෙයි අකුණු ගසමින් විදුලි කොටමින් තමයි වහින්නෙ. මේ වෙලාවට රූපවාහිනියක් නරඹන්න, රේඩියෝවක් අහන්න විතරක් නොවයි දුරකතන ඇමතුමක් ගන්නවත් විදියක් නැහැ. 

ජංගම දුරකතනයකට ඇමතුමක් ගත්තත් අනිත් පැත්තේන් කියන්නෙ අකුණු ගහනව පස්සේ ගන්නම් කියල. ඇත්තටම ජංගම දුරකතනයට
අකුණු වදිනවද?

ඒ පිළිබඳව මේ පිළිතුර දීල තිබුණේ අකුණු ගැන ලෝකයේ ඉන්න ප්‍ර‍කටම විද්වතෙක් වන මහාචාර්ය වර්ණන් කුරේ මහතා...

“ජංගම දුරකථනයට අකුණක්‌ ඇද ගැනීමේ හැකියාවක්‌ නැහැ. අකුණු ඇදගැනීමේ හැකියාව ජංගම දුරකථනයට වඩා මිනිස්‌ සිරුරට තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන විට අකුණක්‌ වැදුණොත්, ඒ කියන්නේ එය නැතුව වුණත් ඒ අකුණ ඇඟට වදිනවා කියන එකයි. 


මම සමහරුන්ගේ ජංගම දුරකථනයට ඇමතුම් දෙනවිට ඔවුන් මට කියනවා, අකුණු ගහන නිසා, පස්‌සේ කතා කරමු කියලා. ඒ වෙලාවට මම කියනවා, අවුරුදු හතළිහක්‌ තිස්‌සේ මම අකුණු ගැන හදාරලා තියෙන්නේ. ඒ නිසා එකේ කිසිම ප්‍රශ්නයක්‌ නැහැ, අපි කතා කරමු කියලා.

ඔය මතය ආරම්භ වුණේ එංගලන්තයෙන්. එහේ කාට හරි ජංගම දුරකථනයෙන් කතා කර කර ඉද්දි අකුණක්‌ වැදිලා තියෙනවා. ඒ ගැන වෛද්‍යවරු ප්‍රකාශ කරපු මතයක්‌ තමයි, මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ. වෛද්‍යවරු ඒ ගැන හදාරපු අය නොවන නිසා ඔවුන් ඒකට හේතුව ලෙස ගෙන තිබෙන්නේ, ජංගම දුරකථනය. ඒකයි මේ වැරදි මතයට මුල“


මොබයිල් ෆෝන් පාවිච්චිය ගැන රටටම අනතුරු අඟවා දිවියෙන් සමුගත් කඩවත සිසුවා

කඩවත කෝපියාවත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවෙකු සිය කාමරයේ ඇඳ මතටවී ජංගම දුරකතනය භාවිත කරමින් සිටියදී අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෙරේදා (10) රාත්‍රී හතට පමණ මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇති බවයි පැවසෙන්නෙ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත්ව උසස් පෙළ කිරීමේ අපේක්ෂාවෙන් සිටි නිලන්ද චාමික පවුලේ එකම පිරිමි දරුවා වනවා.

තම සොයුරාට අකුණු සැර වදිනු දුටු ඔහුගේ සොයුරිය මෙසේ පැවසුවා.

“මල්ලි සාමාන්‍ය පෙළ පාස් වුන සතුටට අපේ තාත්තා එයාට මේ ෆෝන් එක අරන් දුන්නේ. මේ සිද්ධිය වෙන වෙලාවේ වැඩිය වැස්සේත් නෑ. මල්ලි ඇඳට වෙලා ෆෝන් එක යූස් කර කර හිටියේ. එයා ෆෝන් එකේ චාර්ජ් මදි කියලා කරන්ට් එකට ප්ලග් කරලයි තිබුණේ. 


ඒ වෙලාවේ එක පාරට එළියෙන් මහ හඬකින් අකුණක් පිපිරෙන සද්දයක් ආවා. ඒ එක්කම ඇඳේ හිටිය මල්ලී අක්කේ අක්කේ කියාගෙන විදිල්ලක් වගේ නැගිට්ටා. එයා පුදුම වේගයෙන් තමා නැගිට්ටේ. නැගිටලා අඩි කිහිපයක් ඉස්සරහට ගිහින් වාඩි වුණා. 

මමත් ඒ ළඟමයි හිටියේ. මට කිසිම අනතුරක් නෑ. වාඩි වෙලා හිටිය මල්ලි ළඟට ගිහින් මම මල්ලී මල්ලී කියලා ඇඟට තට්ටු කළා. එයාගේ අත් දෙක හෙලෙව්වා. එයාගේ අත් ගල් වෙලා වගේ හයිවෙලා තිබුණා. එයා ඉඳගත්ත විදියටම දර දඬු වෙලා හිටියා. මම කෑ ගැහුව්වා. කෑ ගහලා මම එළියට දිව්වා ත්‍රිවිල් එකක් හොයන් එන්න. මම එනකොට මල්ලිව කවුද හොස්පිටල් ඒකට අරන් ගිහින්..”

නිවසේ රූපවාහිනී යන්ත්‍රයට අකුණු සැර වැදී ක්‍රියා විරහිත වී ඇති බවත් ඇඳ මත තිබු ලැප්ටොප් පරිගණකයට අකුණු සැරෙන් කිසිඳු හානියක් සිදුව නැති බවත් පොලිස් ආරංචිමාර්ග පවසනවා.

කඩවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

කෙසේ වෙතත් අකුණු සැර ජංගම දුරකතනයට නොවදින බවයි අකුණු ගැන ලොව සිටින ප්‍ර‍කට විද්වතෙක් වන මහාචාර්ය වර්ණන් කුරේ මහතා පවසන්නේ...
 
Related Posts with Thumbnails