Ads 468x60px

.

මෙහෙම වෙන්නේ ඇයි..? අයි ඩෝන්ට් නෝ වයි...


පසුගිය සතියේ රටේ ජනතාවගේ අවධානයට ලක්‌ විය යුතු නමුත් බොහෝ දෙනෙකුට මගහැරුණු වැදගත් ප්‍රවෘත්ති දෙකක්‌ තිබිණි. ඉන් එකක්‌ වූයේ ඇමැති, රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරු සියලුදෙනාටම එක හා සමාන තත්ත්වයේ නිල වාහන සැපයීමට අමාත්‍ය මණ්‌ඩලය තීරණය කළ බවය.

දෙවැන්න අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධ ප්‍රවෘත්තියකි. එම ප්‍රවෘත්තියෙහි සඳහන්ව තිබුණේ ප්‍රාදේශීය සංවර්ධන

අමාත්‍ය සරත් ෆොන්සේකා ගේ අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටියකට අධික මුදලක්‌ ගෙවමින් ගොඩනැඟිල්ලක්‌ බද්දට ගැනීමට යැමේ පුවතයි. 

සාමාන්‍යයෙන් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් අදහස්‌ පළ කිරීමට යැම ඔහුගේ කේන්තියට (සුපුරුදු) හේතු විය හැකි දෙයක්‌ වුවද, මේ කියන කාරණය ජනතාවට අතිශය අදාළ බැවින් ඒ ගැන ලියන්නට ම සිදුවන බව කිව යුතුය.

මැති ඇමැතිවරුන්ට වාහන වාසනා හිමිවන්නේ මේ වනවිට මහජන මන්ත්‍රීන්ට ලැබෙන වාහනවලට අමතරවය. මේ උදවියට මේ කප්රුක පහළ වන්නේ රටේ ජනතාවට "බක්‌කි කරත්ත" නිෂ්පාදනය කරන්නට සිදුවන අන්දමේ ආර්ථිකය ගොඩනැඟීමේ මෙහෙයුමක්‌ අතරවාරයේය. 


ඊළඟට මැති ඇමැතිවරු සුපිරි නිල නිවාස, කාර්යාල සඳහා කෝටි ගණනක ගොඩනැඟිලි මිලදී ගන්නේද අපට පටි තද කරගන්නට සිදුව තිබෙන ආර්ථික ප්‍රතිසංස්‌කරණ ක්‍රියාවලියක්‌ හමුවේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනා තෙලෙන් කා කිරෙන් අත සේදුව ද රටේ ජනතාවගේ හිතේ කහටක්‌ නැති බව ගෞරවයෙන් සිහිපත් කරමු.

ඒත් මේ නාස්‌තිකාර වියදම්වලදී මැති ඇමැතිවරුන්ගේ පටි තද කරන්නට කාටවත් නොහිතෙන්නේ ඇයි? කලින් ආණ්‌ඩුව රටේ ආර්ථිකය බිංදුවටම නැති කර ඇත්නම්, පසුගිය මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි නාස්‌තිය, අනවශ්‍ය වියදම් පාලනය කරනවා නම්, මේ වියදම් වෙනුවෙන් කැබිනට්‌ පත්‍රිකා ඉදිරිපත් වන්නේත්, අනුමත වන්නේත් ඇයි?

අපට පෙනෙන හැටියට (එසේ නොවන්නේ නම් කවුරුන් හෝ මාධ්‍ය හමුවක්‌ කැඳවා ඒ ගැන පැහැදිලි කරන්න) රටේ අමාත්‍යාංශවල දෙපාර්තමේන්තුවල, සංස්‌ථාවල මැති ඇමැතිවරුන්ට හා නිලධාරීන්ට පාවිච්චි කරන්නටම බැරි තත්ත්වයේ "කබල්" වාහන නැත. 


දැනගන්නට ඇති පරිදි ඒ බොහෝ ආයතනවල ගාල්කර ඇති අතිරික්‌ත වාහන ආසන්න වර්ෂයන්හි ගෙන්වන ලද සුඛෝපභෝගී මට්‌ටමේ වාහනය. රටේ ජනතාවගේ පටි තද කරන්නට පෙර තම තමන්ගේ පටි තද කරගෙන, මේ වාහන භාවිත කර රටේ ජනතාවට පූර්වාදර්ශයක්‌ සැපයීමට නොහැක්‌කේ ඇයි? 

මැති ඇමැතිවරුන්ට සිය කාර්යාල සඳහා අඩු මුදලකට කුලියට ගැනීමට රජයේ ගොඩනැඟිලි ඇත්තේම නැද්ද? තිබෙන ගොඩනැඟිලිවල අඩුපාඩු මොනවාද? ආර්ථික අර්බුදයෙන් ගොඩ එනතෙක්‌ සකසුරුවම් ලෙස වියදම් දරා ගනිමින් රටේ ජනතාවට ආදර්ශයක්‌ වන්නට මේ උදවියට බැරි ඇයි?

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් වාහනයක්‌ නැති, ඉන්නට හිටින්නට තැනක්‌ නැති, හිඟන මට්‌ටමේ කෙනෙක්‌ සොයා දෙන මෙන් අපි කාට කාටත් ඇරයුම් කරමු. ඒ වෙන කිසිවක්‌ නිසා නොව එවැනි ආශ්චර්යයක්‌ දැක ගැනීමද වාසනාවක්‌ නිසාය. බොහෝ මැති ඇමැතිවරුන්ගේ ව්‍යාපාර තිබේ. ඒ ඔවුන්ගේ නමට නොවේ. 


බාර් ලයිසන් ඇති මන්ත්‍රීවරුන්ම 100 ක්‌ සිටින බව පසුගිය දිනවල වාර්තා වී තිබිණි. එතැනින් නොනැවතී පාලම්, බෝක්‌කු, පාරවල් හදන්නට කොන්ත්‍රාත් දී කොමිස්‌ වලින්ම පොහොසත් වෙති. බොහෝ දෙනකුට මෙවැනි කතා කියන විට මේවා සාධාරණීකරණය කරන්නට විවිධ උත්තර තිබිය හැක. 

ඒත් අපට තිබෙන ප්‍රශ්නය ජනතා කතිරයෙන් පාර්ලිමේන්තුවට යන මිනිහා කළ යුත්තේ තමන් ගොඩයැමේ මාර්ග තනා ගැනීමද යන්නය. ජනතා සේවය යෑයි ඒ අය සිතන්නේ කුමක්‌ද? 

ජනතා සේවයට මුල්තැන දී වැඩ කරන, රටේ ආර්ථිකය බංකොළොත් යෑයි ආණ්‌ඩුවම කියනවිට තමන්ගේ කැපවීම ආදර්ශයෙන් පෙන්වන කවරෙකු වුව ඉදිරි අනාගතයේදී සුඛෝපභෝගී වාහන, ගොඩනැඟිලි නොව නැව්, ගුවන් යානා මිලදී ගත්තද අපට කමක්‌ නැත.
 
Related Posts with Thumbnails