Ads 468x60px

.

ධීවර ඇමැතිවරයාගේ කතාව බොහෝ සේ වටිනා කියන එකක්‌ වූ නමුත් එය 'ජෝක්‌' නොවිය යුතු බව


රටේ ජනතාව අතර නිතර අර්බුදවලට මුහුණ දෙන කොටස්‌ දෙකක්‌ දකින්නට ලැබේ. ඒ ගොවි ජනතාව හා ධීවර ජනතාවය. මේ දෙපිරිසටම මොන ආණ්‌ඩුව ආවත් තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් වදින්නට සිදුව තිබේ. 

හිටි හැටියේ කිසියම් දේශපාලනඥයකු (විෂයයන් බාර ඇමැතිවරු හෝ වෙනත් අවශේෂ දේශපාලනඥයකු) මේ දෙපිරිසටම 'චූන්' වන කතාවක්‌
කියා ඊට පහුවෙනිදා තිබෙන අයිතියත් අහෝසි කර දැමීම අතිශය සුපුරුදු තත්ත්වයක්‌ බවට පත්ව තිබේ.

ඊයේ පෙරේදා දවසක ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර කියන ලද කතාව 'චූන් කතාවක්‌' හැටියට අර්ථ දක්‌වන්නට අප කිසිසේත් ඉක්‌මන් නොවෙමු. එහෙත් මෙවැනි කතා 'ජෝක්‌' වීමට ඉඩ නොදී ප්‍රායෝගිකව කටයුතු කර පෙන්වීම සුදුසු බව අපි සිහිපත් කරමු.

ඇමැතිවරයා ඒ කී කතාවේදී වැදගත් කාරණා දෙකක්‌ ඉස්‌මතු කර තිබිණි. ඒ මෙසේයá

1. ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ඉදිරියේදී කිසිදු විදේශිකයකුට බලපත්‍ර ලබා දෙන්නේ නැත.

2. ශ්‍රී ලංකාව වටා විශාල මුහුදු තීරයක්‌ තිබුණද, රටට අවශ්‍ය තරම් මසුන් ප්‍රමාණයක්‌ අල්ලා ගැනීමට මෙතෙක්‌ හැකි වී නැත.

මේ වැදගත් කතා දෙක ගැන අපට අදහසක්‌ තිබේ. ඒ අනුව මුලින්ම කියන්නට අවශ්‍ය වන්නේ අපට 'හිනා' පහළ වන බවය. දෙවැන්න මේ කතා දෙකත් බොහෝ පැරැණි හිටපු දේශපාලනඥයන් බොහෝ දෙනෙක්‌ තොරොම්බල් කළ ඒවා බව ය.

ජාත්‍යන්තර මුහුදේ නොව ශ්‍රී ලංකාවට අයත් මුහුදේ මසුන් ඇල්ලීම පිළිබඳව ද ආණ්‌ඩුවකට කරන්නට පුළුවන් කෙංගෙඩියක්‌ නැති බව පසුගිය කාලය පුරාම දිගින් දිගටම ක්‍රියාවෙන් ම ඔප්පු කර තිබිණි. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පමණක්‌ සියල්ල හොඳින් සිදුවේ යෑයි සිතීම මුළාවකි. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට ගන්නා ලද රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට වඩා අතිශය සංකීර්ණ ක්‍රියාමාර්ග ගනිමින් හෝ විස¹ ගතයුතු ප්‍රශ්න රාශියක්‌ තිබේ. ඒ අතර ප්‍රධානම ගැටලුව වන්නේ ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීමය. එම ආක්‍රමණය නිසාම මෙරට මුහුදට සිදු වූ හානිය වෙනුවෙන් ඉන්දියාවෙන් වන්දි ඉල්ලන්නේ යෑයි කීවේද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ම බව අපි ගෞරවයෙන් සිහිපත් කර සිටිමු.

(එවැනි ක්‍රියාමාර්ගයකට යැම ටිකක්‌ අමාරු වැඩක්‌ නිසා එම කටයුත්ත නූලෙන් මිස්‌ වීම වෙනම කාරණයකි. එම කතාව 'චූන්' කතාවක්‌ ජෝක්‌ වීමක්‌ ලෙස වරදවා වටහා නොගන්නා ලෙස ද අපි පාඨකයන්ගෙන් ද ධීවර ජනතාවගෙන් ද ඉල්ලා සිටිමු.)

මේ ප්‍රශ්නය ඇමැතිවරයා කියන ජාත්‍යන්තර මුහුදේ ප්‍රශ්නයට වඩා බරපතළය. ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීමේද කෙළවරක්‌ නැත. නිදහස්‌ කිරීමේද කෙළවරක්‌ නැත. ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු සීමාවට පැමිණ මත්ස්‍ය සම්පත කොල්ලකාගෙන යන්නේ තමන්ගේ ගෙදර මිදුලේ මාලු ටැංකියෙන් මාළු ගෙන යන තරමේ බියක්‌ සැකක්‌ නැතුවය. ඒ ස්‌ථිර වශයෙන් ම ඉන්දියාව සද්ද කළ විට ශ්‍රී ලංකාව ටිකක්‌ විතර බය වන බව දන්නා නිසා විය හැකිය.

මේ ප්‍රශ්නය බරපතළය. ධීවර ජනතාවට ඇත්තේ මේ ප්‍රශ්නය පමණක්‌ම නොවේ. තවත් ප්‍රශ්න රාශියක්‌ තිබේ. මේ නිසාම ඒ අයගේ කප්පරක්‌ ප්‍රශ්න රටේ ජනතාවට "මෙගා'' ප්‍රශ්න බවට පත්වන බවද කිව යුතුය. ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියන පරිදි රට වටා මුහුද තිබුණද ''රටට අවශ්‍ය මසුන් නැතැයි'' යන කතාවද ඒ 'මෙගා' ප්‍රශ්නයේම කොටසකි. රටේ ජනතාව මාළුÊකනවා නොව ලෙවකනවාය. හරි හැටි මාලු කන්නට ගියොත් රටේ ජනතාවට බැංකු පොත් හිස්‌ කරන්නට වන ගානට මාළු මිල ඉහළය.

වාරකන් තිබුණත් තත්ත්වය එසේය. නොතිබුණත් එසේය. වැස්‌සත් පෑව්වත් තත්ත්වය එයමය. ගෙදරට මාළු ගෙන එන මිනිහාගේ ගෙදර ප්‍රශ්නයකට වුව මාළු මිල ඉහළ දමයි. ප්‍රයිවෙට්‌ බස්‌ ගාස්‌තු ඉහළ දමන විට ලංගමත්, දුම්රියත් ඒ ගානටම හරියන්නට ගාස්‌තු ඉහළ දැමීම කොපිකර මාළුÊමිලේ ගානටම එළවළුත් ගිනි ගණන් ය. රටේ ජනතාවට ධීවරයාගේ ප්‍රශ්නය මෙගා ප්‍රශ්නයක්‌ වන්නේ එහෙමයි.

ධීවර ඇමැතිවරයාගේ කතාව බොහෝ සේ වටිනා කියන එකක්‌ වූ නමුත් එය 'ජෝක්‌' නොවිය යුතු යෑයි අප නැවතත් අවධාරණය කරන්නේ එහෙයිනි.
 
Related Posts with Thumbnails