Ads 468x60px

.

දන්සලක්‌ දෙන්නට පෙර සපිරිය යුතු පිළිවෙත්...


දැන් හිතුමතේට දන්සල් දීමේ හැකියාවක්‌ නැත. දන්සලක්‌ වුව දෙන්නට පෙර සපිරිය යුතු පිළිවෙත් තිබේ. ඒ කොහේ හෝ දේවාලයකට ගොස්‌ බාරහාර වීම නොවේ. දන්සලක්‌ දීමට පෙර යෝජිත ස්‌ථානය ලියාපදිංචි කිරීමේ පිළිවෙතයි. 

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුත් විශේෂ චක්‍ර ලේඛයක්‌ ඒ පිළිවෙත වෙනුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව අප පෙර කී පරිදි වෙසක්‌ හා පොසොන් දන්සල් පවත්වාගෙන යැමට යෝජිත ස්‌ථාන
ලියාපදිංචිය අනිවාර්ය කළ යුතුය. 

චක්‍රලේඛයට අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් ද අනෙකුත් නිලධරයන්ද තම තමන්ට අයත් ප්‍රදේශවල දන්සල් ගැන සොයා බලා අවශ්‍ය පියවර ගත යුතුය.

මේ කාරණය සම්බන්ධයෙන් අපට කිව හැක්‌කේ හොඳත් නරකත් දෙකම තිබෙන බවය. ස්‌ථිර වශයෙන්ම මේ හේතුව නිසා හිටි ගමන් අටවන බොහෝ දන්සල් වැසී යන බව ඒකාන්තය. මේ හිටි හැටියේ දෙන්නට සූදානම් කරන දන්සල් බොහෝ විට සිසිල් බීම දන්සල්ය. 


තවත් සමහර දන්සල් කේක්‌ දන්සල්ය, කෝපි, කිරි කෝපි දන්සල්ය. "මහා" µ්‍රයිඩ් රයිස්‌, "මහා" බත් දන්සල් එසේ ආවාට ගියාට පටන්ගන්නට හැකියාවක්‌ නැත. සිසිල් බීම දන්සල් දීමේදී බොහෝ විට ඒවා සංවිධානය කරන්නන් පිරිසිදුකම, යොදා ගන්නා ද්‍රව්‍ය පිළිබඳව ඒ හැටිම සැලකිලිමත් වන බවක්‌ පෙනෙන්නට නැත.

බස්‌ රථයක්‌, වෑන් රථයක්‌ හෝ කුමන හෝ වාහනයක්‌ එසේත් නැතිනම් පයින්ම ගමන් ගන්නා සෙනඟ කන්දරාවක්‌ දුටුවිට කලබලයෙන් නතර කර ගන්නා දන්සල් සංවිධායකයන් උත්සාහ දරන්නේ බීම කල්දේරම හිස්‌කර ගැනීමට මිස සෞඛ්‍ය සම්පන්න පිළිවෙත් ආරක්‍ෂා කිරීමට නොවේ. 


කෝප්ප සේදීම භාජනවල පිරිසිදුකම අවට පරිසරයේ පවිත්‍රතාව ගැන බොහෝ දෙනෙක්‌ පයිසෙකට මායිම් නොකරන බව පෙනෙන්නට තිබේ. බොහෝ විට කලක්‌ තිස්‌සේ සංවිධානය කර දෙනු ලබන "මහා" දන්සල් ද අයත් වන්නේ ඒ ගණයටමය.

දන්සල්වලින් සැපයෙන ආහාර, ජලය, පාන වර්ග පිළියෙළ කිරීමේදී සහ ඒවා පිළිගැන්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය සම්පන්න ක්‍රියාදාමයන් ගැන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කර තිබිණි. 


එහිදී වැදගත් පිළිවෙත් කිහිපයක්‌ දක්‌වා තිබේ. දන්සල් සඳහා ආහාර පිළියෙළ කිරීමේදී පිරිසිදු නියමිත තත්ත්ව ප්‍රමිතියට අයත් අමුද්‍රව්‍ය යොදා ගැනීම, ගබඩා කිරීමේදී සෞඛ්‍යාරක්‍ෂිත බව, පිරිසිදුකම ගැන දැක්‌විය යුතු සැළකිල්ල එම ප්‍රකාශනයේ සඳහන්ය. 

අප ඉහතින් සඳහන් කළ පරිදි දන්සල්වල කටයුතු සඳහා යොදා ගන්නා ජලය ඇළ දොළ, බෝක්‌කු, වැනි සෞඛ්‍යාරක්‍ෂිත නොවන තැන්වලින් ලබාගැනීම ගැන සැළකිලිමත් විය යුතු බව එහි අවධාරණය කර තිබේ. මේ උපදෙස්‌ කොතරම් වැදගත් වුවද බොහෝ දෙනකුගේ හිත් වේදනාවට මෙය හේතු වන බවද නිසැකය. 

එහෙත් පසුගිය කාලය පුරාම සමහර දන්සල් සම්බන්ධයෙන් මතුවූ ප්‍රවෘත්ති එතරම්ම හොඳ ඒවා නොවූ බවද කිව යුතුය.

දන්සල් දීම සම්බන්ධයෙන් කිසිවකුගෙත් අකමැත්තක්‌ පළවෙන්නේ නැත. එය බෞද්ධකම හා බැඳුණු උතුම් ගුණාංගයන් ප්‍රකට කරවන සද්කාර්යයකි. යාන වාහන නොමැති කාලයේ වෙසක්‌ හා පොසොන් සමයට පා ගමනින්ම වන්දනාවේ යන බැතිමතුන්ගේ කුසගින්න, පිපාසාව සංසිඳවීම පිණිස ආරම්භ කරන දන්සල් අද වන විට "සුපිරි" දන්සල් දක්‌වා වර්ධනය වී තිබේ. 


එහෙත් එදා මෙදාතුර ඒ දන්සල් සංවිධානය කිරීමේ අරමුණ සහ ක්‍රමවේදය වෙනස්‌වීම ගැන සැලකිල්ලට භාජන කළ යුතුය. ප්‍රමිතිය ගැන කතාබහක්‌ මතුවන්නේ ඒ නිසාය. සැදැහැ සිතින් පුණ්‍ය කටයුත්තක්‌ සංවිධානය කළ පසු එය රටේ ජනතාවට අහිතකර ලෙස බලපෑ හැකි කාරණයක්‌ බවට පත් වේනම් ඒ සමස්‌ත ක්‍රියාවලියෙන් ඇති ඵලක්‌ නැත. 

වැසි සමය ආරම්භ වීමත් සමඟම ලෙඩ රෝග පැතිරීම අනිවාර්යයෙන්ම සිදුවන්නකි. මේ බොහෝ රෝග පැතිරෙන්නේ බීමට ගන්නා ජලය හේතුවෙනි. දන්සල් ප්‍රමිතිය ගැන සැලකිල්ලක්‌ දැක්‌වීම වඩාත් වැදගත් වන්නේ ඒ නිසාය.
 
Related Posts with Thumbnails