Ads 468x60px

.

තමන්ගේ නම ගැසු වියළි සලාක පැකට්‌ බෙදීමට වඩා සාධනීය වැඩපිළිවෙළක්‌....


දැඩි උණුසුම් සහිත වියළි කාලගුණය නිසා රටේ ජනතාව මාස ගණනාවක්‌ පුරා දුක්‌ වින්දාහ. දැන් මදි නොකියන්නට වැසි වසී. රටේ ජනතාව නැවත පීඩාවට පත්ව සිටිති. නගර පමණක්‌ නොව ගම් බිම්ද වැසි ජලයෙන් යටවී තිබේ. දිවයින පුරා නායයැම් වාර්තාවේ. 

එක දිගට වසින්නට පටන්ගත් පසු මෙවැනි තොරතුරු වාර්තාවීම දැන් සුලභය. එහෙත් විනාශය දරුණුය. පෙරේදා වැස්‌ස ආරම්භ වන විට
වාර්තාවී තිබුණේ දිස්‌ත්‍රික්‌ක අටක්‌ නාය යැමේ අවදානමට ලක්‌ව ඇති බවයි. ජලාශ කිහිපයක ජල මට්‌ටමද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

අයහපත් කාලගුණික තත්ත්වයක්‌ එළැඹි හැම මොහොතකම රටේ ජනතාවට අලුත් පාඩමක්‌ කියාදෙන බව කිව යුතුය. එහෙත් කිසිවෙකුත් එය අත්දැකීමක්‌ කරගෙන ඊළඟ වතාවේ ඊට මුහුණ දීමට සූදානම් වන බවක්‌ පෙනෙන්නට නැත. 


ආපදාවකට ලක්‌නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ගන්නා බවක්‌ පෙනෙන්නේද නැත. කොටින්ම රටේ ආපදා කළමනාකරණය පවා තත්ත්වය ඉස්‌මතු වූ විට ක්‍රියාත්මක වන බවක්‌ පෙනෙන්නට තිබේ. හිටි හැටියේ ජනතාව අවතැන් වන්නේද, අතුරුදන් වන්නේද ඒ නිසාය.

රට තුළ කඳු පිටින් නාය යැමේ ෙ€දවාචකයන්ට ආසන්නතම උදාහරණය 2014 ඔක්‌තෝබර් 29 වැනි දින සිදුවූ මීරියබැද්ද නාය යැමය. කඳු මුදුන් පාමුල නොඑසේනම් කන්දක වඩාත් අවදානම් තැන්වල නිවාස තනාගෙන සිටින පිරිස ඒ ඇසුරින් හෝ පාඩමක්‌ ඉගෙන ගෙන ඇති බවක්‌ පෙනෙන්නට නැත. 


මීරියබැද්ද පමණක්‌ නොව ඒ ආකාරයට අතීතයේ සිදුවූ වෙනත් නාය යැම් ගැන රටේ ජනතාවට අමතක ඇති බවක්‌ අප විශ්වාස කරන්නේ නැත. ඊයේ වන විට වාර්තාවී ඇති පරිදි ගංවතුර නායයැම් හා තද සුළඟ නිසා හත් දෙනකු අතුරුදන්වී, හත් දෙනකු මියගොස්‌, ලක්‍ෂයකට පීඩා විඳින්නට සිදුව තිබේ. 

බොහෝ ප්‍රදේශ නාය යා හැකි බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබුණේ පසුගිය 15 වැනිදාය. බදුල්ල, මොනරාගල, නුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, කළුතර යන දිස්‌ත්‍රික්‌ක සඳහා වූ නායයැමේ අවදානම් නිවේදනය ඊයේ (17 දා) දින දක්‌වා දීර්ඝ කිරීමටද එම සංවිධානය කටයුතු කර තිබිණි. 

එවැනි අනතුරු ඇඟවීමක්‌ තිබියදී පවා බොහෝ පිරිසක්‌ ඒ ගැන සැලකිල්ලක්‌ දක්‌වා ඇති බවක්‌ පෙනෙන්නට නැත. එසේත් නැතිනම් එම පණිවුඩය හරි හැටි සන්නිවේදනය වී නැත.

කෙසේ හෝ මේ බොහොමයක්‌ අවදානම් සහිත සිදුවීම් වලදීත්, රට පුරා ජලයෙන් යටවීමේ සිදුවීම් වාර්තා වීමේදීත් රටේ ජනතාව සිහියට ගත යුතු වැදගත් කාරණයක්‌ තිබේ. ඒ මේ සියලු ආපදා තත්ත්වයන් ඇති වීමට යම් තරමකට හෝ තම තමන්ගේද වගකීම් රහිත ක්‍රියා කලාපයන් හේතුවී ඇති බවය. 


සරල උදාහරණයක්‌ ගනිමු. පසුගිය දින දෙකේ ඇතිවූ ගංවතුර තත්ත්වය වැඩි වශයෙන් බලපා තිබුණේ කොළඹටය. කොළඹ නගරයේ යටනොවූ තැනක්‌ සොයා ගන්නට හැකියාවක්‌ තිබුණේ නැත. කොළඹ වැසි ජලයෙන් යටවන්නට පටන් ගත්තේ ගං දිය උතුරා යාම නිසා නොවේ. 

කාණු පද්ධති උතුරා යාම නිසාය. ජලය බැස යැමට සකස්‌ කර ඇති කාණු උතුරන්නේ ජලය ගලා ඒම වැඩි නිසා නොව කාණු තුළ විවිධ අපද්‍රව්‍ය සිරවීම නිසාය. පොලිතීන් කවර, කුණු, ප්ලාස්‌ටික්‌ බෝතල් මේ ආදී බොහෝ දේ කාණු පද්ධති තුළ සිරවී තිබේ. 

මේවා කාණුවලට මහ පාරට විසිකර දමන්නේ මිනිස්‌සුන්මය. වැඩේ සවුත්තු කරගෙන ඇත්තේ අපම බව කියන්නට ඊටත් වඩා උදාහරණ අවශ්‍ය නැත. හොඳට තිබෙන කඳු නායයන්නේ ජල පහර දරා ගැනීමට නොහැකි නිසාම නොවේ. 

ජල පහර දරා ගැනීමට හැකි ගල් පර කඩා දමා, ගස්‌ කපා දමා ඒවා තැනිතලා බවට පත් කරන මිනිසුන් නිසාය. එතෙකුදු නොනැවතී ඒ කඳු පාමුල නිවාස තනා ගත් විට තත්ත්වය කෙබඳු ද යන්න කිව යුතු නැත.

අප මේ තත්ත්වය අවබෝධ කරගත යුතුය. මේ මොහොතේ ආපදාවට ලක්‌වූ අයට සහන සලසන අතරවාරයේම මේ තත්ත්වයට නිසි පිළියම් යෙදීමටද සැලසුම් සකස්‌ කළ යුතුය. අවධාරණය කළ යුත්තක්‌ තිබේ. 


ඒ, මෙවැනි ආපදාවක්‌ හටගත් වහාම දේශපාලනඥයින් එය තමන්ගේ දේශපාලන ආපදාව කළමනාකරණය කර ගැනීමට සූදානම් වීම නොකළ යුතු බවය. මේ මොහොතේ අවශ්‍ය වන්නේ දේශපාලනඥයාගේ නම ගැසු වියළි සලාක පැකට්‌ බෙදීමට වඩා සාධනීය වැඩපිළිවෙළකි.
 
Related Posts with Thumbnails