Ads 468x60px

.

කොළඹ 'යටවීම' සහ නිලධාරීන්ගේ හිඟ පාඩුව...


දිවයින පුරා නාය යැම්, ගංවතුර තර්ජන, අතුරුදන්වීම්, මරණ විශාල වශයෙන් පසුගිය දින දෙකෙහි වාර්තා වී තිබිණි. ඒ ගැන අපි ඊයේ කතා කළෙමු. දිවයින පුරා වාර්තා වන ඒ සිද්ධීන් අතර 'කොළඹ යටවීම' ට ද හිමිවන්නේ මුල් තැනකි. 

කොළඹ පුරා පසුගිය දිනවල වැසි ජලයෙන් යට නොවූ ප්‍රදේශයක්‌ සොයා ගැනීමට පුළුවන්කමක්‌ තිබුණේ නැත. පොඩි වැස්‌සකටත් කොළඹ යටවෙනවා ය කියන කතාව යන්තම් හෝ බොරු කරන
මට්‌ටමේ වැඩපිළිවෙළක්‌ පසුගිය රජය සමයේ ගෙන ගිය බව සඳහන් නො කළොත් ඉතා නරක අන්දමට කෘතගුණ පැහැර හැරීමක්‌ සිදු වේ. 

කෙසේ හෝ කොළඹ වැසි ජලයෙන් යටවීම වෙනත් ප්‍රදේශවල ගම්, නගර වැසි ජලයෙන් යටවීම තරම් ම හෝ ඊටත් වඩා විශේෂයෙන් විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක්‌ ලෙස අපි සලකමු. පසුගිය දින දෙකක කාලය තුළ කොළඹට පැමිණෙන වාහන වල අඩුවක්‌ දක්‌නට ලැබිණි. 

බස්‌ රථ හා දුම්රිය මගීහු ද එතරම් ම සිටියේ නැත. ඒ කාරණා දෙකක්‌ නිසා ය. පළමු කාරණය ඒ ඒ පිරිස පැමිණෙන ගම් බිම් ජලයෙන් යටවීම ය. දෙවැන්න මුළු කොළඹම ජලයෙන් යට වූ විට කොළඹ විවිධ පැතිවල විසිරී ඇති රාජ්‍ය ආයතන , පෞද්ගලික සේවා ස්‌ථාන මේ සියල්ලෙහි වැඩ කටයුතු අඩපන වීම ය. 

ඒ නිසාම කොළඹට පැමිණ (රාජකාරියට වාර්තා කර) ඇති වැඩක්‌ නැතැයි ස්‌වයං වාරණයක්‌ පනවා ගනිමින් බොහෝ දෙනෙක්‌ නිවාඩු පිට ගෙදරට වී සිටිති. පාර්ලිමේන්තුව යට වී ඇතැයි වාර්තා වූ විට කථානායකවරයා ප්‍රකාශ කර තිබුණේ කුමක්‌ වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේවයට වාර්තා කළ යුතු බව ය. 

කොළඹ හැටි එහෙමය කියා අපට හිත හදා ගන්නට පුළුවන්කමක්‌ නැත්තේ කොළඹ 'යටවීම' පාලනය කළ හැකි බව අප අත්දැක ඇති නිසා ය.

වැසි ජලය පාලනයට මුහුද දක්‌වා දිවෙන උමං මාර්ග දෙකක්‌ ඉදිකිරීමට අවධානය යොමු වී ඇතැයි බස්‌නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසූ බව පුවත්පතක පළ වී තිබිණි. "අවධානය යොමු වී ඇතැයි'' කියන නිසාම එය තවමත් බස්‌නාහිර නගර සැලසුම් ව්‍යාපෘතියට ඇතුළත්ව නැතැයි අපි විශ්වාස කරමු. 


නමුත් ඒ යෝජනාව ඉතා හොඳ ය. ලොව වෙනත් රටවල අප ජලය බැහැර කිරීම සඳහා මෙම උමං මාර්ග යොදා ගැනීම බොහෝ කලක සිට සිදුවන්නකි. ගරු අමාත්‍යවරයා එවැනි සංකල්පයක්‌ ඉදිරිපත් කිරීම පවා අපේ සතුටට හේතුවේ.

එකම දේ මේ උමං මාර්ග හදන තෙක්‌ කාලය තුළ පරණ පුරුදු විදියට කොළඹ යටවීම ඉවසා සිටිය යුතු ද යන්නය. එවැනි 'හොඳ' වැඩ කරන අතර වාරයේ පසුගිය ආණ්‌ඩුව ගෙන ගිය ඉතා හොඳ වැඩ කෙරෙහි ද අමාත්‍යවරයාගේ පමණක්‌ නොව අනෙකුත් බලධාරීන්ගේ ද අවධානය යොමු විය යුතු බව අපි විශ්වාස කරමු. 


උමං මාර්ග යනු දීර්ඝ කාලීන වැඩපිළිවෙළක එක්‌ කොටසකි. එහෙත් කාණු පද්ධති විධිමත් කිරීමත්. පිරිසිදු කිරීම ක්‍රමවත් කිරීමත්, දෛනික පරීක්‍ෂාවත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජලය බැස යැම, පිළිවෙළට සකස්‌ කිරීමත් යනු ඉක්‌මන් මෙන්ම ආපදා තත්ත්වය බෙහෙවින් පාලනය කළ හැකි ව්‍යාපෘති බව කිව යුතු ය. 

පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ද සිටි පසුගිය ආණ්‌ඩුව මගින් මේ ක්‍රියාවලිය ඉතා විධිමත්ව සැලසුම් කර තිබූ බව ද ඒ නිසාම කොළඹ ජලයෙන් යටවීම බොහෝ සෙයින් අඩු වූ බව ද සිහිපත් කළ යුතුය. 

ජනතාව කලකට ඉහතදී සිතා සිටියේ මේවා අපේ වැඩ නොව නගර සභාවේ වැඩ බව ය. ටික කලක්‌ ගිය පසු එය නගරය පිරිසිදු කිරීම භාර දී තිබූ පෞද්ගලික ආයතන සතු කාර්යයක්‌ බව ජනතාව කල්පනා කළහ. 

ඊටත් පසු කලෙක ජනතාව සිතුවේ මේවා අයිති හමුදාවට බව ය. ඒ නිසාම කැළි කසළ බැහැර කිරීම අවට පරිසරය අපවිත්‍ර කිරීමට මේ කිසිවෙකුත් සීමා පනවා ගත්තේ නැත. ඇත්ත වශයෙන් ම පසුගිය ආණ්‌ඩුවේ ජනතාව යම් තරමකට හෝ කීකරු වූයේ හමුදාව මේ කාරිය තමන්ගේ අතට භාරගත් පසුය. 

එවකට රාජකාරියේ යොදවා සිටි 'පරිසර ආරක්‍ෂක පොලිසියද හොඳින් රාජකාරිය ඉටු කළ බව නිසැක ය. දැන් ඒ කිසිවක්‌ නැත. එපමණක්‌ නොව නියෝග දෙන්නට (එවක ආරක්‍ෂක ලේකම්වරයා මෙන්) හයිය තිබෙන කෙනෙක්‌ ද නැත.) කොළඹ පමණක්‌ නොව රට පුරාම නගර යටවීමේ කතාන්දරය පිටුපස ඇත්තේ එවැනි නිලධාරීන්ගේ හිඟ පාඩුව ය. උමඟට කලින් එවැනි නිලධාරියකු ගැන අවධානය යොමු කිරීම කාට කාටත් හොඳ ය.
 
Related Posts with Thumbnails