Ads 468x60px

.

දන්සල්, තොරණ නවතා අවතැන් ජනතාවට පිහිට වෙමු!


අධික වර්ෂාව නිසා ඇතිව තිබෙන විපත සුළුපටු නැත. ගංවතුර, නායයැම්, තද සුළං නිසා රට පුරා පීඩා විඳින ජනතාව ලක්‍ෂ හය ඉක්‌මවන බව වාර්තා වේ. ඊයේ වන විට වාර්තා වී තිබුණේ 37 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇති බවය. 

මේ අයහපත් කාලගුණික තත්ත්වය ඉක්‌මනින් වෙනස්‌ වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා තිබිණි. එහෙත් වැසි
තත්ත්වය අඩුවනවාය කී නමුත් තවමත් විටින් විට වර්ෂාව ඇදහැලෙන බව පෙනෙන්නට තිබේ.

ගංවතුර තත්ත්වය උග්‍ර වීමට එය හේතුවක්‌ වී තිබේ. එය කාලගුණ විපර්යාසයේ වරදක්‌ මිස කාලගුණ අනාවැකිවල වරදක්‌ නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග උරණව සිටින අයගෙන් අපි ඉල්ලා සිටිමු.

කෙසේ හෝ හෙට අනිද්දා වනවිට තත්ත්වය යහපත් අතට හැරුණ ද විපතට පත් ජනතාවට පහසුවෙන් සාමාන්‍ය ජීවිතයට හුරුවීමට තවත් සතියක්‌ දෙකක්‌ නොව මාසයක්‌වත් ගතවනු ඇතැයි අපි විශ්වාස කරමු. 


බොහෝ ප්‍රදේශවල නිවාස තිබුණා ද යන්න සොයාගත නොහැකි ආකාරයෙන් නාය ගොස්‌ තිබේ. ජලය පිරී ඇති බොහෝ ප්‍රදේශවල නිවාසවල වහළයවත් පෙනෙන්නේ නැත. ඒ නිවාසවල ජීවත් වූ මිනිසුන්ට මාසයක්‌ ගත වී හෝ ජීවිතය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබේදොයි යන්න සැක සහිතය. 

මේ සියලු දෙනාටම මේ වනවිට වුවමනා වන අත්‍යවශ්‍යම උපකාරය වන්නේ කුසට ආහාරයක්‌ය. නිවාස වැළලී ගිය පසු ජලයෙන් යට වූ පසු උයන්නට පිහන්නට නොව. තේ වතුර ටිකක්‌ රත්කර ගන්නට හෝ තැනක්‌ නැති වන බව අමුතුවෙන් කිවයුතු නැත. 

අවතැන් වූ සියලුම පිරිසට විහාර, පාසල් ගොඩනැඟිලි කරා යන්නට හැකියාවක්‌ නැත. සීමිත පිරිසක්‌ ඒ ඒ තැන්වල ලැගුම් ගත් විට ඉතිරි පිරිසට කල් ගෙවන්නට සිදු වන්නේ මහමගය. කැලණි පාලම අවට, දුම්රිය මාර්ගයේ පොදි කමින් සිටින අවතැන් ජනතාවට අත්ව ඇත්තේ එවැනි ඉරණමක්‌ය. 

බොහෝ පිරිසක්‌ තමන්ගේ නිවාස පිහිටි භූමියෙන් ඉවත්ව යැමට කැමැත්තක්‌ දක්‌වන්නේ නැත. ඒ ගංවතුර තත්ත්වය පහවූ විගස තමන් සතු බඩුමුට්‌ටු කිසිවකු හෝ සොරා ගැනීමට ඉඩ ඇතැයි යන අවිශ්වාසය නිසාය. එම සිතුවිල්ල බොහෝ දුරට සාධාරණය.

තවමත් මේ අවතැන් ජනතාවට හරි හැටි සහන නොලැබෙන බව වාර්තා වේ. රාජ්‍ය ආයතන, වෙනත් සිවිල් සංවිධාන, සහන කණ්‌ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන හැකි පමණින් අවතැන් පිරිස සොයා යමින් උපකාර කරන්නාහ.

මේ සියලු දේ අතරවාරයේ රටේ බොහෝ ප්‍රදේශවල දිගින් දිගටම තොරණ සැකසීමේ හා දන්සල් සංවිධානය කිරීමේ වැඩකටයුතුවල නිරත වන පිරිස්‌ බහුලව දැක ගත හැකිය. අපි ඒ සියලු දෙනාගෙන්ම ඉල්ලීමක්‌ කරන්නට කැමැත්තෙමු. 


ඒ, ජාතික ආපදාවකට මුහුණ පා සිටින මේ මොහොතේ දන්සල් - තොරණ සඳහා යෙදවීමට බලාපොරොත්තු වන මුදල්, ද්‍රව්‍යයම භාණ්‌ඩ, සියල්ල අවතැන් ජනතාවගේ සුබසාධනය සඳහා යොදවන ලෙසය.

පරිත්‍යාගය හා දානය පෙරටු කරගත් සද්කාර්යයන් බෞද්ධයන්ගේ උතුම් ගුණාංගයන් අතර ප්‍රමුඛය. අනෙකාගේ දුක, වේදනාව. බඩගින්න පිළිබඳව බෞද්ධයෝ නිරන්තරයෙන් කල්පනා කරන්නාහ . 


දන්සල්, තොරණ ද ඒ උතුම් පින්කම්වලට අයත්ය. ආමිස පූජාවට අයත්ය. ඒ නිසාම දන්සල් තොරණ සඳහා වැය කිරීමට බලාපොරොත්තු වන සියලු මුදල් ලක්‍ෂ හය ඉක්‌මවන අවතැන් ජනතාව වෙනුවෙන් යෙදවීම කොතරම් උතුම් වෙසක්‌ පිංකමක්‌දැයි කවුරු කවුරුත් තීරණය කළ යුතුය. 

වෙසක්‌ උත්සවය සනිටුහන් කරන ආමිස පූජාව හා ප්‍රතිපත්ති පූජාව වඩාත් අර්ථවත් වන්නේ එවැනි පිංකමකින් බවද අපි සිහිපත් කරමු.
 
Related Posts with Thumbnails