Ads 468x60px

.

වතුර බැස ගිය පසු, මෙවර එය සිදු නො විය යුතු බව...


පසුගිය සති අන්තයේ සිට, එනම් පසුගිය 14 වැනි සෙනසුරාදා දිනයේ පටන් අපට කතා කරන්නට සිදුව ඇත්තේ සිදුවෙමින් පවතින මහා විනාශය ගැනය. සොබාදහම ඉතාම නරක අන්දමින් රටේ ජනතාව පීඩාවට පත් කර ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 

අවතැන්ව ඇති බොහෝ පිරිසකගේ තාවකාලික නවාතැන්පළවල් බවට පන්සල්, පාසල්, විවිධ ආගමික ස්‌ථාන පත්ව තිබේ. තවත් බොහෝ දෙනකුක්‌ තැන් තැන්වල අටවාගෙන ඇති කූඩාරම් හා කුඩා
පැල්කොටවල ය. බොහෝ ප්‍රදේශවල දුම්රිය මග දෙපස ජීවත් වන ජනතාව සිටින්නේ දුම්රිය මාර්ගයේය. 

කැලණි ගඟ අසබඩ ජීවත් වන පිරිස කැලණි පාලම උඩත්, මහා මාර්ගයෙත් රැඳී සිටිති. ත්‍රිවිධ හමුදාව ද, පොලිසිය ද සියලුම රාජ්‍ය නිලධාරීහු ද ආපදාවට ලක්‌වූ පිරිස වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරන බව පෙනේ. තවත් සුළු පිරිසක්‌ සිය යුතුකම - වගකීම අමතක කර දමා ඇති බවක්‌ ද පෙනේ. 

අප "සුළු" පිරිසක්‌ යෑයි කීව ද මේ පිරිස ඊටත් වඩා වැඩි වන්නට හොඳටම ඉඩකඩ තිබේ. ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන ආකාරයට ආපදා තත්ත්වයට පත්ව ඇති ජනතාවට සහන සැලසී මඟ හරින රාජ්‍ය සේවකයන් 2000 කට වැඩි පිරිසක්‌ ගැන තොරතුරු ලැබී තිබේ. 

මේ දැන ගැනීමට ඇති සුළු පිරිසය. මිනිසත්කම නොහඳුනන මේ රජයේ සේවකයන් යෑයි කියන පිරිස සමහර විට ඊටත් වඩා වැඩි විය හැකිය. ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින පිරිස ලක්‍ෂ හය ඉක්‌මවා ඇතැයි කියති. 

එය රටේම ජනතාව එක්‌ව සහන සැලසිය යුතු මට්‌ටමේ සංඛ්‍යාවකි. ඊයේ වනවිට වාර්තා වී තිබූ ආකාරයට නිවාස 3438 ක්‌ විනාශ වී තිබේ. කඳවුරු 611 ක පවුල් 621404 ක පිරිසක්‌ රැඳී සිටිති. අතුරුදන් සංඛ්‍යාව 132 කි. මේ අප කිසිවෙකු හෝ මග හැර යා යුතු තත්ත්වයක්‌ නොවේ.

මේ මොහොත වනවිට අප ඉදිරියේ ඇත්තේ ජාතික වශයෙන් වැදගත් සද්කාර්යයකට දායක වීම බව වටහා ගැනීම වැදගත්ය. මේ අවතැන් වූ ආපදාවට ලක්‌වූ මිනිසුන්ට හෙට අනිද්දා වනවිට ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීම පහසු නැත. 


නියත වශයෙන් ම සිදු විය හැකි කාරණා දෙකක්‌ තිබේ. ඒ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන විදිහටම වැස්‌ස නතර වීමේ වැඩි සම්භාවිතාවය ය. දෙවැන්න එසේ සිදු වුණහොත් ජලය බැස යැමය. 

ජලය බැසගිය සැණින් ඒ ඒ නිවෙස්‌ හිමියන්ට එක්‌වරම ගෙට ඇතුළු වී තේ ටිකක්‌ වක්‌කරගෙන, රූපවාහිනිය නැරඹීමේ හැකියාව ලැබෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම එතැන් සිට මාසයක්‌ දෙකක්‌ නොව ඊට වඩා වැඩි කාලයක්‌ වුව මේ මිනිසුන්ට නිවස, බඩු බාහිරාදිය තිබූ තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙසෙන්නට සිදු වේ.

අද දවස වනවිට කෑම, බීම, වියළි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ලබාදීමේ කාර්යයට බොහෝ දෙනෙක්‌ දක්‌වන උනන්දුව අගය කළ යුතුය. මේ උනන්දුව කැපවීම අවතැන් ජනතාවගේ ඉදිරි ජීවිතය ගොඩනැඟීම වෙනුවෙන් ද දැක්‌විය යුතු බව අපේ විශ්වාසයයි. 


අවතැන් පිරිස අතර සිටින පාසල් දරුවන් බොහෝය. ඉන් වැඩි පිරිසකගේ පොත්පත්, පාසල් උපකරණ, පාසල් නිල ඇඳුම් නැවත භාවිත කළ නොහැකි අන්දමින් විනාශයට පත් ව තිබිය හැක. ඒ සියල්ල අහිමි වුවද ඒ දරුවන් නැවත පාසල් යා යුතුය. 

ඒ සඳහා දරුවාගේ මානසික තත්ත්වය යහපත් කිරීමේ සිට අවශ්‍ය බඩු බාහිරාදිය සැපයීම දක්‌වා වූ නිසි වැඩපිළිවෙළක්‌ සැකසීම වගකිව යුත්තන්ගේ සේම සිවිල් සංවිධානවල ද යුතුකමක්‌ ලෙස අපි සලකමු. 

දරුවන්ගේ සිට විපතට පත් සියලුම ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත්වනතුරු ඒ අය පිළිබඳව සොයා බැලීමේ වගකිව යුතු ක්‍රමයක්‌ සැකසිය යුතුය. සාමාන්‍යයෙන් සිදුවන්නේ මෙවැනි මොහොතක දැඩි ලෙස වෙහෙස වී කටයුතු කරන පිරිසම ජලය බැස ගිය සැණින් කාරණය අමතක කර දැමීමය. 

මෙවර එය සිදු නො විය යුතු බව අපි අවධාරණය කරමු. නොඑසේ නම් එය රටේ ප්‍රධාන ප්‍රශ්නයක්‌ බවට පත්වීමේ ඇති ඉඩකඩ වැඩිය.
 
Related Posts with Thumbnails