Ads 468x60px

.

නාය යෑමට ගංවතුරට තවත් අප බිලිවිය යුතුද?


කෑගල්ල ප්‍රදේශයේ ජනතාව හා කැලණි ගංගා මිටියාවතේ දිවි ගෙවන දෙකොටස එකම ස්‌වභාවික ව්‍යසනයක දෙආකාරයක ආපදාවන්ට ලක්‌වූවෝ වෙති. එහෙත් දැන් මේ දෙකොටසම අන්ත අසරණයන් බවට පත්ව සිටින්නෝය. 

මේ දෙකොටසගේම ජීවිත යළි නඟාසිටුවීම රජයේ අභියෝගයයි. රජයට එය තනිව කළ හැක්‌කක්‌ද නොවේ. මේ සඳහා අනෙකුත් රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ස්‌වෙච්ඡා සංවිධාන, ත්‍රිවිධ හමුදාව, විදෙස්‌ ආධාර, අත්‍යන්තයෙන්ම අවශ්‍ය වේ. 

මන්ද තවදුරටත් ආපදාවන්ට ලක්‌වීමේ අනතුරක තබා ඔවුන්ට ඉදිරි සහන සැලසීම ඵලදායක නොවන නිසාය. විශේෂයෙන්ම නායයැම්වලින්
අනතුරට ලක්‌වූවන්ට මෙතැන් පටන් ජීවත් වීමට සුදුසු වටපිටාවක ඔවුන් පදිංචි කිරීමට සිදුවීම යනු යළිත් එකේ සිටම ජීව්තය පටන් ගැනීමක්‌ වන නිසාය.

මීට දශකයකට ඉහතදී අප රට තුළට කඩාවැදුණු දරුණු සුනාමිය ගැන අපට මතක තිබේ. එයින් සිදුවූ විනාශයද, අපට තවමත් අමතක නැත. නැති වූ හතළිස්‌ දහසකට ආසන්න ජීවිත ප්‍රමාණය, පොළොවට සමතලා වූ නිවාස දේපළවල තරම අපගේ යටි සිතේ තවමත් වද දෙන වේදනාවකි. 


මෙවර "රොනු" කුණාටුවෙන් අප ජන සමාජයට, ශ්‍රී ලංකා දෙරණ තලයට කළ විනාශයද එදා සුනාමි ව්‍යවසනය තරම්ම හිත් පාරවන ෙ€දවාචකයකි.

අප විශ්වාස කරන අන්දමට "සුනාමි" විපත හැරුණු කොට අප රටට විශාලතම විනාශය සිදුකරන ලද ස්‌වභාවික විපත මෙවර "රොනූ" කුණාටුව මගින් ඇතිකරන ලද ගංවතුර හා නාය යැම්ය.

ජනවාරි මාසයෙන් පසු අප මෙතෙක්‌ ගත කළ මාස 4 ක කාල සීමාව අති දරුණුම ග්‍රීස්‌ම කාලවකවානුවකි. දහවල තියා රාත්‍රියේදීවත් සිසිල් කාලගුණයක්‌ නොතිබූ එම කාලසීමාව පසුකර අහස ගුගුරා සවස්‌ කාලයට වහින සංවහන වැසි කාලයට (පළමු අන්තර් මෝසම) අප පැමිණියා පමණි.

මහා හෙණ ගෙඩියක්‌ අප හිස මතට පමණක්‌ නොව අපගේ සමස්‌ත ජීවිතවලටම කඩා පාත්වුණේය. ඉන්දියානු සාගරයේ ඇති වූ අඩු පීඩන තත්ත්වයක්‌ පීඩන අවපාතයක්‌ බවට පත්වී ශ්‍රී ලංකා ගොඩබිම හරහා ඇදී යැමෙන් නොසිතූ විරූ වර්ෂාවක්‌ රටට ඇද හැළුණේය. 


කෙටි කාලයක්‌ තුළදී අධික වැසි පතනයක්‌ වාර්තා වීමත් මෙම වැසි පතනය මධ්‍යම කඳුකරයේ නිරිතදිග බෑවුමට ලැබීමත් හේතුවෙන් එයින් හටගන්නා ගංගා, ඇළ, දොළ සියල්ලක්‌ම ඉතිරී අඩතැනි කලාපයට හා වෙරළබඩ තැන්නට ගලා ආවේය. ඒ කෙතරම් ජල ප්‍රමාණයක්‌ද කියතහොත් අඩ තැන්නේදී හා වෙරළබඩ කලාපයේදී මේවා ගලා ගියේ දෙගොඩ තලා (පිටාර ගලා) ය.

මෙම අධික වැසි පතනයෙන් ගංගාවලට එසේ බලපෑම් එල්ල වද්දී මධ්‍ය කඳුකරයේ විශේෂයෙන් කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ කඳුකර ප්‍රදේශවලින් වාර්තා වූයේ කඳු කඩා හැලීම් පිළිබඳ ශෝචනීය එමෙන්ම භයංකාර කතාන්දරයකි. 


මේ කරුණු දෙක නිසාම අන්ත අසරණ තත්ත්වයට පත් වූයේ එම ප්‍රදේශවල අහිංසක මිනිසුන්ය. ප්‍රචණ්‌ඩ ලෙස කඳු කඩා හැලෙද්දී (නාය යද්දී) අරණායක, බුලත්කොහුපිටිය, කඩුගන්නාව ප්‍රදේශවල ජීවිත සියයක්‌ පමණ පස්‌ යට වැළලී ගියහ. තවත් සිය දහස්‌ ගණනක්‌ අනාථයන් බවට පත් කළහ.

එසේම ගම්පහ සහ කොළඹ දෙදිසාවේ තවත් සිය දහස්‌ ගණනක්‌ අනාථයන් බවට පත්කරමින් ගේ දොර ජලයෙන් යටකර දැමීය. 


අත්තනගලු ඔය, කැලණි ගංගාව වැනි ප්‍රධාන ජලධාරා තමන්ට ගෙන යා නොහැකි තරමේ ගංදියක්‌ රැගෙන පල්ලම් බැස්‌සේ පහත් බිම්වල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම වනසා දමාය. කාලගුණ වාර්තා පෙන්වා දෙන පරිදි කොළඹ ප්‍රදේශයට මෙසේ ගංවතුර තත්ත්වයක්‌ ඇතිවූයේ 1989 න් පසුවය.

තොටළඟ, නාගලගන්වීදියේ ජල මාපකය සටහන් කළ පරිදි එහි ජල මාපාංකය අඩි 7.56 ක්‌ ලෙස සනිටුහන් කළ මෙම ජල මට්‌ටම ඉතිහාසයේ තවත් වාර්තාගතම ජල මට්‌ටමක්‌ ලෙස සැලකේ. එය අතිශය භයානක ගංවතුර තත්ත්වයකි.

සැබෑය· මෙම ගංවතුර කැලණි ගං මිටියාවත සම්පූර්ණයෙන්ම යට කර දැමීය. කැලණි ගංගා ෙද්‍රණියේ ජීවත් වූ සිය දහස්‌ ගණනක මිනිසුන්ගේ එදිනෙදා ජීවන කටයුතු මෙන්ම පරම්පරා ගණනාවක්‌ ඔවුන් හරි හම්බකරගත් සබ්බ සකලමනාව මෙන්ම, අනාගත අපේක්‍ෂා සියල්ලක්‌ සුණු විසුණු කර දැම්මේය. 


මේ වනතුරුත් අනාථයන් ලෙස ජීවත්වන ඔවුන්ගේ ජීවන තත්ත්වය කවදා යහපත් වී සාමාන්‍ය තත්ත්වයට හැරේදැයි අපට කිව නොහැකිය. අඩුම තරමේ මාසයක්‌ දෙකක්‌ තරම්වත් කාලයක්‌ ඔවුන්ගේ ජීවන තත්ත්වය සාමාන්‍ය අතට පෙරළා ගැනීමට අවශ්‍යය. 

එසේම නැති වූ දේපළ, ගරා වැටුණු නිවාස යළි ගොඩනගා ගන්නට ගතවන කාලය හරිහැටි නිශ්චය කර ගත නොහැක. මන්ද කිසි ලෙසකින්වත් එම කටයුතු ඔවුන්ට තනිව කරගත නොහැකි නිසාය.

මේ සඳහා වහ වහා රජයේ මැදිහත්වීම අවශ්‍යය. ආපදා සහන සේවා ක්‍රියාත්මක විය යුතුය. යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවා සහ සනීපාරක්‍ෂක සේවා වහ වහා ක්‍රියාවට නොනැඟේ නම් වසංගත රෝග පීඩා උත්සන්න වීමට එය හේතුවක්‌ වේ. අරණායක විසුවද, තොටළඟ, සේදවත්තේ හෝ වෙනයම් ස්‌ථානයක දිවි ගෙවූවද එහි වෙනසක්‌ නැත.

කෑගල්ල ප්‍රදේශයේ ජනතාව හා කැලණි ගංගා මිටියාවතේ දිවි ගෙවන දෙකොටස එකම ස්‌වභාවික ව්‍යවසනයක දෙආකාරයක ආපදාවන්ට ලක්‌වූවෝ වෙති. එහෙත් දැන් මේ දෙකොටසම අන්ත අසරණයන් බවට පත්ව සිටින්නෝය. මේ දෙකොටසගේම ජීවිත යළි නඟාසිටුවීම රජයේ අභියෝගයයි. රජයට එය තනිව කළ හැක්‌කක්‌ද නොවේ. 


මේ සඳහා අනෙකුත් රාජ්‍ය සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, ස්‌වෙච්ඡා සංවිධාන, ත්‍රිවිධ හමුදාව, විදෙස්‌ ආධාර, අත්‍යන්තයෙන්ම අවශ්‍ය වේ. මන්ද තවදුරටත් ආපදාවන්ට ලක්‌වීමේ අනතුරක තබා ඉදිරි සහන සැලසීම ඵලදායක නොවන නිසාය. 

විශේෂයෙන්ම නායයැම්වලින් අනතුරට ලක්‌වූවන්ට මෙතැන් පටන් ජීවත් වීමට සුදුසු වටපිටාවක ඔවුන් පදිංචි කිරීමට සිදුවීම යනු යළිත් එකේ සිටම පටන් ගැනීමක්‌ වන නිසාය. නව නිවාස සාදා දීමට පවා රජයට සිදුවේ.

එහෙත් ගංවතුරෙන් හානියට ලක්‌වූ ජනතාව සඳහා එතරම් භාරදුර ලෙස කටයුතු කිරීමට රජයට අවශ්‍ය නොවන නමුත් ගංවතුරේ සේදී ගිය සියලු අපේක්‍ෂාවන් වෙනුවට සැලකිය යුතු යම් දෙයක්‌ රජය මගින් ඉටුකර දිය යුතුව තිබේ. අධික ජන ඝනත්වයක්‌ වාර්තාවන කැලණි ගං මිටියාවතේ ජනයා වෙනුවෙන් සහන සැලසීමටද රජයට මාස කිහිපයක්‌ ගතවනු ඇත. 


එහෙත් වැදගත්ම කාරණය වන්නේ මේ දෙකොටසම යළිත් මෙවන් ආපදා තත්ත්වයකට ගොදුරු නොවීමට තරම් ආපදා සහන සැලසීමකට රජය කටයුතු කළයුතු වීමය. මන්ද එදා මෙන් නොව අද ලෝකය දරුණු ලෙසත්, බහුලවත් ආපදාවන්ට ගොදුරුවන නිසාය. නොහොත් ආපදා ඇතිවීමේ සම්භාවිතාව වැඩිවී ඇති නිසාය. එය කැලණි ගං මිටියාවතේ අධික ජන ඝණත්වයට යොදා ගන්නේ කෙසේද යන්න ගැටලුවකි.

කැලණි ගං මිටියාවතේ අත්තනගලු මිටියාවතේ ගං දැලේ ජීවත් වූ මිනිසුන් පමණක්‌ නොව, ගංගා දැලෙන් ඈත දිවිගෙවූ නිවාස පවා මේ ගංවතුරට ගොදුරු විය. ගංගා දැලේ වතුර බැස ගියත් අනෙකුත් පහත් බිම්වල ජලය බැසයැමක්‌ ද සිදු නොවන තරම්ය. 


එනිසා තවත් ජන කොටසක්‌ සැලකිය යුතු කාලයක්‌ ගංවතුරේ කොටුවී සිටින අතර, සහන සැලසීමද දුෂ්කරය. නැතිබැරි එකා මෙන්ම ඇති හැකි එකාද මේ ගංවතුරේ ගිලී ගියහ. දෙමළද, සිංහලද, මුස්‌ලිම්ද නොව, බෞද්ධද, කතෝලිකද, හින්දුද, ඉස්‌ලාම්ද යෑයි නොකියා මේ සුළි කුණාටුව ජාතිභේද ආගම් භේද නොතකා හැම දෙනාටම පහර දුන්හ. 

ඉඳින්· තවදුරටත් ජාතිභේද ආගම් භේද අපට අවශ්‍ය නොවේ. ලෝකය කියන පරිදි අපේ පොදු සතුරා "ආපදා"ය. නැතහොත් දේශගුණික විපර්යාසය. ඒවා ජයගන්නට ක්‍රමවේද ගොඩනගනවා මිස, තට්‌ටු ගෙවල් හෝ ආත්මාර්ථය ගොඩනඟනවාට වඩා අපට කළ යුතු වැදගත් කාරණා රැසක්‌ තිබේ. 

ඉන් එකක්‌ ආපදා ජය ගැනීම්ය. ඒ ජයග්‍රහණය සඳහා අප පෙළ නොගැසුණහොත් එක්‌කෝ නායක්‌ මගින් හෝ සුවිසල් ගංවතුරක්‌ මගින් හෝ අප යළි යළිත් බිලි ගන්නවා නියතය. එවන් "සුනාමිය"කට අපි තවත් ඉඩ තැබිය යුතු නොවේ.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප - ලංකා ගුවන් හමුදාව සහ ජගත් කණහැරආරච්චි
 
Related Posts with Thumbnails