Ads 468x60px

.

අවදානම ඉවර නැත..! මෙබඳු අවස්ථාවක මුළු රටම බුද්ධිමත් ලෙස හැසිරිය යුතු බව...


කුමන ව්‍යසනයක් සිදු වුව අවස්ථාවාදීන්ගෙන් හිඟයක් අපට නැත. එදා සුනාමියේ රළ පහරට කාන්තාවන් ගසාගෙන යත් දී ඒ රළ මත සිට ම කතුන්ගේ මාල කඩාගත් නරුමයෝ පිරිසක් උන්හ. 

සුනාමියට හසුව පසුව ගොඩ ගැසූ මළ සිරුරුවල මාල කඩාගත් අශීක්ෂිත යෝ පිරිසක් ද මේ රටේ උන්හ. 2016 ගංවතුර සිද්ධියේදී ද එය පෙර පරිදිම සිදු වී ඇත.  ආධාර හොර පාරෙන් ගසාකෑම සඳහා සංවිධානාත්
මක කණ්ඩායම් ක්ෂේත්‍රයට බැස ඇතැ’යි පුවත්පත් වාර්තා කර තිබිණි. පොලිසිය මෙබඳු හොරු කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන සිටිති.

කොළඹ ප්‍රදේශයේ කුඩු ජාවාරමට සම්බන්ධ යැයි කියන කාන්තාවක් සිය සගයන් ද සමඟ ක්ෂේත්‍රයට බැස ආධාර ගසාකෑම ඉතා සැලැසුම් සහගතව කරගෙන යන බව එක්තරා පුවත්පතක් වාර්තා කර තිබිණි. 


දැන් පොලිසිය කළ යුත්තේ මේ හොර කත අල්ලා කූඩු ‍ෙකාට නීතිය හමුවට කැඳවීමය. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජලයෙන් යට වූ නිවාස කොල්ලකන කණ්ඩායම් සිටින බව ද වාර්තා වී තිබේ. පොලිසියට සහන වැඩකටයුතු කරගෙන යන අතර ම හොරුන් ඇල්ලීමට ද සිදු වී ඇත. අපට කිව හැක්කේ “අතිශයින්ම කනගාටුයි!” යන්න පමණකි.

මේ කනගාටුදායක අවස්ථාවේ අවංක ලෙස ම කම්පාවට පත් වූ පිරිසක් සිටිති. අවංක ලෙසම උපකාර කරන පිරිසක් ද සිටිති. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අත්දැකීම්වලින් ම ඒ බව සනාථ වෙයි. 


ජාති, අගම්, කුල, පන්ති යනාදී භේදයකින් ‍ෙතාර ව අනාථ පිරිසට උපකාර කරන තරුණ කණ්ඩායම් අපි දෑසින් ම දුටුවෙමු. හැබෑවට ම ඔව්හු ඒ සඳහා මහත් කැපවීමකින් කටයුතු කරති. 

එබඳු කණ්ඩායම්වලට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. ඒ අතර විනෝද වෙමින් නළා පිඹිමින් බෙර වයමින් වන්දනාවේ යෙදුණු පිරිසක් ද සිටිති. සංගීත සංදර්ශන පැවැත්වූ පිරිසක් ද සිටිති. මේ සියලු දෙනාම රට අපකීර්තියට පත් කරන බව කිව යුතු ය.

මුළු රටට ම බලපා ඇති විපත දෙස බලන විට කිව හැක්කේ ජාතික ශෝක කාලයක් පැමිණ ඇති බවය. ඒ බව ර‍ෙට් නායකයන් ද කියා ඇත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා මහ වැසි හා වෙනත් බාධාවන් නො සලකා විපතට පත් වූ පිරිස් හමුවීමට ගියහ. 


ඔවුන්ගේ දුක - සැප විමසමින් නායකයෝ ද සහන වැඩසටහන්වලට එකතු වූහ. ඒ අතින් බලන විට අපේ නායකයන්ගේ හැසිරීම මහඟු ආදර්ශයක් බව පෙන්වාදිය යුතු ය. අව ම ලෙස මේ නායකයන්ගේ හැසිරීම දෙස බලා අවස්ථාවාදය අතහරින්නට නරුම පිරිස දැන්වත් හිතට ගත යුතු ය.

වෙසක් පොහොය සඳහා බණ දේශනා කළ සෑම හිමි නමකගේ ම පාහේ උපදේශනය වූයේ වෙසක් සැරසිලි, දන්සල් හා වෙනත් පින්කම් සඳහා වැය කරන මුදල් හා ශ්‍රමය අවතැන් වූවන්ගේ සුබ - සාධනය සඳහා යොදවනු යන්න ය. 


මේ උපදේශනය පිළිගත් සමහරු ඒ අනුව ම කටයුතු කළහ. එම උපදේශනය තුට්ටුවකටවත් මායිම් නො කළ තවත් පිරිසක් සැණකෙළි සිරියෙන් වෙසක් උත්සවය සමරමින් සිටිති. මේ අයට නීතියෙන් දඬුවම් කළ නො හැකි ය. එහෙත් යහපත් පුරවැසි සමාජවලට නරුම පිරිස කොන් කළ හැකි ය‍. එය සිදුවිය යුතු ය.

ගංවතුරෙන් අවතැන් වූ පිරිස ඉතා සංකීර්ණ තත්ත්වයකට පත් වී ඇති බව පෙනෙන්නට ඇති යථාර්ථය යි. දැන් ඔවුන් ලුණු පොල්කට්ටේ සිට නැවත මුල සිට හම්බ කළ යුතු ය. ඇතමකුට හැඳුනුම්පත් නැත. 


විභාග සහතික නැත. උප්පැන්න හා තවත් වැදගත් සහතික නැත. මේ දේවල් නොමැතිව ජීවිතයට මුහුණදීම අපහසු ය. සහන වැඩසටහනෙහි ඊළඟ පියවර වූ ඉඩම ලබාදීම, ආධාර ලබාදීම ආදී කටයුතුවලදී අනන්‍යතාව හෙළි කරන සහතික අත්‍යවශ්‍යය. 

මේවා කඩිනමින් ලබාදිය හැකි ක්‍රමයක් කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතුය. මෙහිදී අනාථ පිරිස කන්තෝරුවලට ගෙන්වනවා වෙනුවට නිලධාරීන් අනාථ කඳවුරුවලට යන ක්‍රමයක් ඇතිකරන්නේ නම් වැදගත් ය.

ඊළඟට රට මුහුණදෙන තවත් බරපතළ ගැටලුවක් වන්නේ වසංගත රෝග පැතිර යෑමය. එබඳු අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත. විශේෂයෙන් ජලය මඟින් පැතිර යන රෝග ගැන අවධානයකින් සිටීම වැදගත් ය. 


ගංවතුර බැස ගිය ද පරිසරයේ කැළි කසළ හා රසායනිකයන් ළිං වතුරට හා ජලාශවලට ද මිශ්‍ර වී ඇත. නාගරික ප්‍රදේශවලත් ඊට තදාසන්න ප්‍රදේශවලත් මේ තත්ත්වය හොඳින් ම දැක ගත හැකි ය. 

සෞඛ්‍ය උපදේශන ලබාදීමෙන් පමණක් මේ උවදුරෙන් වැළකිය නොහැකි බව ද පෙන්වා දිය යුතුය. පොදු පහසුකම් සපයන රාජ්‍ය ආයතන මෙහි දී සැලැකිල්ලෙන් කටයුතු කළ යුතු බව පෙන්වාදීම සුදුසු ය‍. ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු වී ඇති සෑම ගංවතුරකට ම පසු අදාළ ප්‍රදේශවල රෝග පැතිරී ගිය බවට වාර්තා තිබේ.

නාය යෑම්වලට ගොදුරු වූ ප්‍රදේශවල ජනතාවට අනතුරුදායක නොවන ප්‍රදේශවලින් ඉඩම් ලබාදීම සඳහා රජය මේ වන විටත් වැඩසටහනක් සැලසුම් කර ඇති බව ප්‍රකාශ වී ඇත. කාර්යක්ෂම ලෙස මේ ව්‍යසනයට මුහුණ දීම ඉතා වැදගත් ය. 


ඉදිරියේදී සිදු කරන ඕනෑ ම ඉදිකිරීමක් සඳහා ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහතිකය ද ලබා ගත යුතු බව කියැවේ. කඳුකර ප්‍රදේශවල ඉදිකිරීම්වල දී මෙය විශේෂයෙන් බලපාන බවද කියති. 

එය ඉතා වැදගත් තීරණයක් සේ පෙන්වා දිය හැකි ය. නාය යෑම්වලට ගොදුරු වන සෑම ප්‍රදේශයක්ම නිරීක්ෂණය කරන විට පැහැදිලි වන්නේ කුමන හෝ පරිසර හානියක් එම ස්ථානවල සිදු වී ඇති බව ය . මෙය පාඩමකට ගෙන ජනාවාස ඇති කිරීම් කළ යුතුය.

කුණාටුව ශ්‍රී ලංකා සීමාවෙන් ඉවත් වී බංගලිදේශයට කඩා වැදී ඇතත්; වර්ෂාව සක්‍රීය වී ඇතැ;යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහි අර්ථය වන්නේ අවදානම තව ම මුළුමනින්ම පහ වී නැති බව ය. මෙබඳු අවස්ථාවක මුළු රට ම බුද්ධිමත් ලෙස හැසිරිය යුතු ය.
 
Related Posts with Thumbnails