Ads 468x60px

.

ආපදා තත්ත්වය යහපත් අතට හැරවීමට හැකි ප්‍රායෝගික යෝජනාවක්‌...


පසුගිය දිනවල රට පුරා ඇතිවුණු ආපදා තත්ත්වය ක්‍රමක්‍රමයෙන් පහව යමින් තිබේ. එහෙත් ඒ හේතුව නිසාම ජනතාව පත්ව ඇති අසීරුතාවත්, පීඩාවත් ලෙහෙසියෙන් පහව යන්නේ නැත. 

ගංවතුර තත්ත්වය නිසා ආපදා තත්ත්වයට පත් ජනතාව නැවත සාමාන්‍ය ජීවිතයට එළඹෙන්නේ හෙටද, අනිද්දද, සතියකින්ද, මාසයකින්ද එසේත්
නැත්නම් වසරකින් ද යනවග හරිහැටි කියන්නට හැකියාවක්‌ නැත. 

බොහෝ දෙනෙකුගේ සේසතම විනාශ වී ඇති බව වාර්තා වේ. ඒ අය නැවත මුල සිටම පටන් ගත යුතු මට්‌ටමේ පසුවන බව කිව යුතු ය. විපතට පත් ජනතාව අතරින් බොහෝ දෙනෙක්‌ ස්‌ථිර රැකියාවල යෙදුණු අය නොවෙති. 

එදා වේල හම්බ කරගෙන කෑ බිවූ මිනිහාට නිවාස, තමන්ගේ බඩු මුට්‌ටු නැවත ගොඩනඟා ගැනීමට බොහෝ කාලයක්‌ ගතවීම වැළැක්‌විය නො හැකි කාරණයකි. විපතට පත් ස්‌ථිර රැකියාවල නියුතු අයට පවා මේ අර්බුදයට මුහුණ පෑමට සිදුවේ. එහි සරල අර්ථය ඉදිරියේදී ඒ සියලු දෙනාටම දැඩි ආර්ථික දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුවන බව ය.

එය සමස්‌තයක්‌ වශයෙන් රටේ ආර්ථිකයට ද සෘජුවම බලපාන කාරණයකි. මේ මොහොතේ රට තුළ තිබෙන්නේ දැඩි ආර්ථික අවපාතයක්‌ බව ආණ්‌ඩුවම ටික කලකට ඉහතදී පවසා තිබිනි. 


ඒ අනුව අප තේරුම් ගතයුත්තේ මේ අර්බුදය ජය ගැනීමට තරමක්‌ වෙහෙස ගත යුතු බවය. රජය මේ මොහොතේ විපතට පත් වූ සියලු දෙනාගේම තොරතුරු එක්‌රැස්‌ කරමින් සිටී. ඒ විධිමත් ආකාරයට ඒ පිරිස වෙනුවෙන් ආධාර කරන පිළිවෙළක්‌ සකස්‌ කරන්නටය. 

බොහෝ රටවල් මෙරටට ආධාර සැපයීමට ඉදිරිපත්ව සිටිති. ලොව පුරා මානුෂවාදී මෙහෙයුම් කාර්යයන් වෙනුවෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වසරකට වියදම් කරන මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 25 කට ආසන්න ප්‍රමාණයක්‌ බව කියෑවේ. 

හදිසි අවස්‌ථා සහ සහන කටයුතු වෙනුවෙන් ඒ මුදල් වෙන් වේ. මෙරට ආපදා තත්ත්වයද එහිදී සැලකිල්ලට යොමුවන බව අනිවාර්යය. මේ ආධාර වශයෙන් ලැබෙන මුදල පවා රටේ ආර්ථික අර්බුදයක්‌ පවතින මොහොතක මහත් අස්‌වැසිල්ලක්‌ වන බව නො අනුමානය. 

එහෙත් දත්ත රැස්‌කෙරූ පමණින් මේ ආධාර (මූල්‍යමය හෝ ද්‍රව්‍යමය) බෙදා හරිනු ලබන නිසි ක්‍රමවේදයක්‌ නො තිබේ නම් තත්ත්වය වඩාත් උග්‍ර වනු ඇති බව කිව යුතු ය.

හදිසි ආපදා තත්ත්වය නිසා රටේ ආර්ථිකයට ඇති වූ පාඩුව ඩොලර් බිලියන තුනකට ආසන්න බව කියෑවේ. එය අපේ රට විදේශ රටවලට ගෙවන ණය වාරික ප්‍රමාණයෙන් එනම් ඩොලර් බිලියන 4.3 ක ප්‍රමාණයෙන් සියයට 75 කට මදක්‌ වැඩි ප්‍රතිශතයකි. 


ප්‍රධාන වශයෙන් අපට ලැබෙන ආධාර තත්ත්වය යම් තරමකට තුලනය කර ගැනීමට හැකියාව ලැබෙතැයි සිතීම ද එතරම් නුවණට හුරු නැත. මේ වනවිට ලක්‍ෂ හතරකට වැඩි පිරිසක්‌ දේපළ වලින් අවතැන්ව සිටිති. 

ලැබෙන ආධාර සහනාධාර එදාවේල හරි හම්බ කරගත් පැල්පත් හා ලෑලි ගෙවල් අටවාගෙන සිටි මිනිසුන්ගේ අවශ්‍යතා පිරිමැසීමට හෝ ප්‍රමාණවත් නොවනු ඇතැයි අපි විශ්වාස කරමු. ඒ නිසාම තත්ත්වය යහපත් අතට හැරවීමට හැකි ප්‍රායෝගික යෝජනාවක්‌ අපි ආණ්‌ඩුවට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු. 

ඒ, එම පිරිස අතර සිටින පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ්. අරමුදල් වලින් සහනදායී පොලියට ණයක්‌ ලබා දෙන ලෙසය. මේ සහනදායී පියවර විපතට පත් වූ පිරිසගෙන් හරි අඩකට, අවම වශයෙන් සිය නිවාස පිළිසකර කර ගැනීමටත්, නිවසට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිලදී ගැනීමට හෝ ප්‍රයෝජනවත් වනු ඇති බව අපේ විශ්වාසයයි.
 
Related Posts with Thumbnails