Ads 468x60px

.

මේ අමන වැඩ උතුර - නැඟෙනහිර සියලු දේශපාලනඥයන් පූර්වාදර්ශ කර ගැනීම කොහෙත්ම හොඳ නැති බව...


නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධාරියකුට නින්දිත ආකාරයට බැණ වැදුණු පුවතක්‌ ඊයේ පෙරේදා වාර්තා වී තිබිණි. 

අද වන විට ප්‍රාදේශීය දේශපාලනයේ පමණක්‌ නොව ජාතික තලයේ දේශපාලනයේ ද මහත්වරු සොයා ගැනීම තරමක්‌ අසීරු කාරණයක්‌ නිසා මෙවැනි බාල වර්ගයේ හැසිරීම් ගැන අපට ඒ තරම්ම පුදුමයක්‌ නැත. 

එහෙත් අපට තිබෙන පුදුමය වන්නේ නාවික හමුදා නිලධාරියකුට නො එසේ නම් රාජ්‍ය නිලධාරියකුට මේ සිදුවීමට මුහුණ පාන්නට සිදුවන්නේ ඇමරිකානු තානාපති වැනි රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම තවත් බොහෝ
සම්භාවනීය පිරිසක්‌ සහභාගි වී සිටි උත්සවයකදී වීම ය. 

මහ ඇමැතිවරයා ඒ ආකාරයෙන් නාවික හමුදා නිලධාරියකුට සද්ද දමා ඇත්තේ 'මහත්තයා' වර්ගයේ ඇඳුමකින් සැරසී ගෙනය. හරියටම කිවුවොත් ටයි කෝට්‌ හැඳ පැළඳගෙන ය. එයින් පෙන්නුම් කරන්නේ ටයිකෝට්‌ හැඳ කරන ඕනෑම තුට්‌ටු දෙකේ වැඩක්‌ මහත්වරුන්ගේ වැඩ යෑයි ඕනෑම දේශපාලනඥයකු කල්පනා කරන බව ය.

මේ රටේ කුරිරු ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමට දිවි හිමියෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අවමානයට ලක්‌ කරනු ලැබීමේ €දවාචකයේ කූටප්‍රාප්තිය මහ ඇමැතිවරයා ඉතා හොඳින් ප්‍රදර්ශනය කර තිබේ. 


ඔහුට මේ ආකාරයට නැඟෙනහිර පළාතේදී පවා සිය චණ්‌ඩිකම මුදා හරින්නට හැකිව ඇත්තේ ද ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට පින් සිදු වන්නට බව ඔහු මහ ඇමැති පුටුවට පත්කළ අය මතක්‌ කර ගත යුතුය. 

මහ ඇමැති තනතුරේ විනය හෝ රැක ගැනීමට බැරි මෙවැනි අඳබාල දේශපාලනඥයන් සිය ගමන මොන්ටිසෝරියේ සිට ආරම්භ කළ යුතු බව අපේ විශ්වාසයයි. වාර්තා වන ආකාරයට මේ පුද්ගලයාට මින්පසු කිසිදු ත්‍රිවිධ හමුදා කඳවුරකට ඇතුළුවීම සඳහා අවසර නොදීමට තීරණයක්‌ ගෙන තිබේ. රජය විසින් ගත් මේ තීරණය අපේ නොමඳ ප්‍රශංසාවට හේතු වන බව කිව යුතුයි.

සාම්පූර් මහා විද්‍යාලයේ පැවැති උත්සවයට සහභාගි වීම සඳහා මේ මහ ඇමැතිවරයාට සහ පළාත් අධ්‍යාපන ඇමැතිවරයාට ආරාධනාවක්‌ තිබී නැත. මේ දෙදෙනාම උත්සවයට සහභාගි වන්නේ අනාරාධිතව ය. 


උත්සව සභාවට පැමිණි ඒ දෙදෙනාටම කිසිදු පිළිගැනීමක්‌ තිබී නැත. (අප ස්‌ථිර වශයෙන් ම කියන්නේ එවැනි පිළිගැනීමක්‌ දේශපාලනඥයකුට කිසිසේත් අවශ්‍ය වන්නේ ද නැති බවය.) නැගෙනහිර පළාත් ආණ්‌ඩුකාරවරයාම කියන පරිදි පාසල් විද්‍යාගාරයක්‌ විවෘත කිරීමේ උත්සවය සංවිධානය කර ඇත්තේ නාවික හමුදාව හා පෞද්ගලික ආයතනයකි. 

මහ ඇමැතිවරයා අසික්‌ෂිත ලෙස බැණවැදුණු නාවික හමුදා නිලධාරියා පාසලේ සංවර්ධන වැඩ කටයුතු වෙනුවෙන් විශාල වශයෙන් වෙහෙස වූ නිලධාරියෙකි. එහෙත් අපේ රටේ අවතැන් දේශපාලනඥයන් කුමක්‌ හෝ 'ඇමැති අංතට්‌ටුවක්‌' පැළැඳි විට අනුන්ගේ මඟුල්වලට කඩා පැන පටලවා ගැනීම අතිශය සාමාන්‍ය සිදුවීමක්‌ නිසා ඒ ගැන පුදුම වන්නට දෙයක්‌ ද නැත. තමන්ට 'ගරු' කිරීමක්‌ නොලැබෙන තැන ඒ කේන්තියට හමුදා නිලධාරින් 'බයිට්‌' එකට ගැනීමේ නින්දිත සහ අවමන් සහගත ක්‍රියාවලිය අපි සහමුලින් ම ප්‍රතික්‍ෂේප කරන්නෙමු.

පළාතේ ප්‍රධාන පුරවැසියා මේ ආකාරයේ 'සුනඛ' වෙස්‌ ගැනීම ගැන පළාත් සභාවද, මධ්‍යම ආණ්‌ඩුව ද වහා පරීක්‍ෂණයක්‌ ආරම්භ කළ යුතු බව අපි ඉඳුරාම කියමු. ඔහුට අයත් පක්‍ෂය කවරක්‌ වුවත් ඔවුන් මේ සම්බන්ධයෙන් කිසිදු විනය පියවරකට නො යන බව ද අපි විශ්වාස කරමු. 


මේ රටේ කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ එවැනි 'ලස්‌සන' වැඩ කරන්නේ යෑයි කොහෙත්ම බලාපොරොත්තු තබා ගැනීමට හැකියාවක්‌ නැත. එහෙත් අපට ඒකාන්තයෙන්ම කිව හැකි යමක්‌ තිබේ. ඒ මේ අමන වැඩ උතුර - නැඟෙනහිර සියලු දේශපාලනඥයන් පූර්වාදර්ශ කර ගැනීම කොහෙත්ම හොඳ නැති බව ය.


 
Related Posts with Thumbnails