Ads 468x60px

.

මේ ප්‍රණාමය ඒ මිනිසුන් වෙනුවෙන් කැපවුණු, "සැබෑ මිනිසුන්ටය...


කොළඹ යට කළ ගංවතුර බැසයමින් තිබේ. නාය ගිය ප්‍රදේශවල ආපදාවට ලක්‌වූ පිරිස වෙනුවෙන් ඉදිකර ඇති කඳවුරු ද තවමත් හිස්‌වී නැත. හිටි හැටියේ ඒ මිනිසුනට යන්නට එන්නට තැනක්‌ ද නැත. දැන් ඒ අයට වැල නොකැඩී ආධාර ලැබේ. 

රටේ ජනතාවගේ දුකේදී පිහිට වීමේ උනන්දුව පුදුමාකාරය, සංවේදීය. එය ස්‌තුති ප්‍රණාම පිදිය යුතු මට්‌ටමේ ඉහළ එකකි. එතරම් සංවේදී දේ
අතර ඉතාම නරක දේ පවා දක්‌නට ලැබේ. මිනිසුන් අතරේ නොමිනිසුන් ද යම් ප්‍රමාණයකට ඇති බව ඒ සිදුවීම් මනාව සනාථ කරන්නේය.

අශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරන ප්‍රධානම දේ හොරකමය. ගංදිය නිවාස යට කර දමා මිනිසුන් පලවා හරින මොහොතෙත්, ගංදිය බැස යන මොහොතෙත් වටිනා කියන බඩු සොරාගෙන යැමට තරම් කැත හිත් ඇති පිරිස අපමණව සිටි බව බොහෝ සෙයින් වාර්තා විය. 


ඒ කිසිවකුත් නමගිය අපරාධකාරයන් නොවේ. හිටිහැටියේ කඩාපාත්වුණු "චාන්ස්‌" එකෙන් වාසනාව පාදා ගන්නට කල්පනා කළ අයයි. තවත් පිරිසකට මේ බරපතළ ව්‍යසනය "ෆන්" ගැනීමට අවස්‌ථාවක්‌ව තිබුණු බව පෙනේ. බොහෝ පිරිසක්‌ වැසිකිළි උතුරා මළ ද්‍රව්‍ය පවා මිශ්‍රව තිබූ ගංදියේ බැස "සෙල්ෆි" ගැසීමත් කණ්‌ඩායම් වශයෙන් ඡායාරූප ගැනීමත් බහුලව දක්‌නට ලැබිණි.

ගංදිය සමග පොර බඳිමින් තමන්ගේ වටිනා කියන බඩු ආරක්‍ෂා කර ගැනීමටත්. එතැනින් නොනැවතී ජීවිතය බේරා ගන්නටත් උත්සාහ දරන පිරිස අතරේ ආපදා "පික්‌නික්‌" (චාරිකා) ගිය අය බොහෝ සෙයින් වූහ. 


ඒ උන්මන්තකයන් උදව් කිරීම පසෙකලා සිදුවන දේ නැරඹීමත්, වීඩියෝගත කිරීමත්, කෑකෝ ගසමින් කොක්‌හඬලා සිනාසෙමින් ආතල් ගැනීමත් දක්‌නට ලැබුණු බව පුවත්පත් කිහිපයකම වාර්තා කර තිබිණි. 

විශේෂයෙන්ම ආපදාවට ලක්‌ව සිටි, පීඩාවට පත්ව සිටි පිරිසට රැගෙන එන ලද පිසූ ආහාර පැකට්‌ අඩු නැතුව බුක්‌ති වින්දේ මේ නැරඹීමට පැමිණි පිරිස බවද වාර්තා විය. සහෘද හැඟීමෙන් සහන සැලසීමට ගිය, විපතට පත් අයට උපකාරී වීමට සහභාගි වූ සංවේදී මිනිසුනට මේ අමනකම්වල යෙදුණු පිරිස විශාල හිරිහැරයක්‌ව තිබුණු බවද කිව යුතුය. 

විවිධ සමාජ ජාල වෙබ් අඩවිවලත්, අන්තර්ජාලයේ ඇති වෙනත් වීඩියෝ දර්ශනත් නරඹන ඕනෑම කෙනකුට රටේ "ජනප්‍රිය තාරකා යෑයි කියන බොහෝ දෙනෙක්‌ගේ සෙල්ෆි විකාරයත්, එතරම් බරපතළ මොහොතක මුහුණුවල ඇති සතුටු සිතක්‌ දැකිය හැකිය.

මේ සියල්ලටම වඩා බොරදියේ මාළු බෑ දේශපාලන විගඩම් සියල්ලටම වඩා කැපී පෙනිණි. ඇත්තටම අප දුටු පරිදි සද්භාවයෙන් විපතට පත්වූවන්ට ආධාර උපකාර කිරීමේ වුවමනාවකටත් වඩා අප දුටුවේ දේශපාලනඥයන් අතර වූ "කෑම බෙදීමේ" තරගයය. 


විපතට පත්වූ පිරිස "හමුවීමට" ගොස්‌ දුක සැප කතා කිරීම යන කාරණයටත් වඩා බොහෝ දේශපාලන චරිතවල දකින්නට ලැබුණේ, හා අදටත් දකින්නට ලැබෙන්නේ ලකුණු දමා ගැනීමේ ව්‍යාපෘතිය. ඒ නිසාම මේ වනවිට දේශපාලනඥයා පිළිබඳව විපතට පත් ජනතාව තුළ ඇත්තේ පිළිකුලකි. විශ්වාසය බිඳ වැටීමකි. 

වැල්ලම්පිටියේදී ඇමැතිවරුන්ට හූ තබා එළවා දමන්නේත්, කැලණි පාලමේ පීඩාවට පත්ව සිටින පිරිස දේශපාලනඥයන් ප්‍රතික්‍ෂේප කරන්නෙත් ඒ නිසාය. ඒ බොහෝ දෙනෙක්‌ කියන්නේ "වාහනේ ඉඳගෙන බත්පැකට්‌ ලැබුණද? කියලා අහන දේශපාලනඥයන් අපට එපා" යන්නය.

ප්‍රශ්නය වන්නේ ඉහත සඳහන් කොටස්‌ තුනම හරිහැටි තත්ත්වය අවබෝධ කර නොගැනීමය.

ඒ නිසාම මේ මොහොතේ ත්‍රිවිධ හමුදාවත්, විශේෂ කාර්ය බළකායත්, පොලිසියත්, සිවිල් ආරක්‍ෂක බළකායත් කරනු ලබන සේවය උත්තරීතර මෙන්ම විශිෂ්ටත්වයට පත් මෙහෙයුමක්‌ බව කිව යුතුය. ඒ අතරම මහවැසි, අපිරිසිදු ජලය, අවදානම ගැන නොතකා මිනිසුන් වෙනුවෙන් කැපවුණු, "සැබෑ මිනිසුන්" ට ද අපේ ප්‍රණාමය හිමි විය යුතුය.
 
Related Posts with Thumbnails