Ads 468x60px

.

හැමදාමත් සිදුවන ආකාරයට මෙදාත් සිදු වුනාද..?


ආපසු ආපදා තත්ත්වය ගැන ලියන්නට සිදුව තිබේ. ඒ ගැන විටින් විට ලියෑවෙනවා පමණක්‌ නොව රටේ තොටේ බොහ සේ කතා බහ කරන බවද පෙනෙන්නට තිබේ. ඒ ගැන කතා කරන කිසිවෙකුත් ආපදා තත්ත්වයෙන් පසු උද්ගත වූ තත්ත්වය යහපත් යෑයි කියනවා අසන්නට ලැබෙන්නේම නැත. 

පසුගිය දිනවල වාර්තාවී තිබුණේ ආපදාවට ලක්‌වූ ප්‍රදේශවල ජනතාවට විඳින්නට සිදුව ඇති දුක්‌ කන්දරාව අපමණ බවය. එම දුක මෙසේ වර්ග
කළ හැක. බොහ දෙනෙකුගේ නිවාස අහිමිව ගොසිනි. තවත් පිරිසකගේ නිවාස ඉතිරිව තිබියදී සියලු සේසතම (හැබෑවටම) වතුරේ ගොසිනි. 

ඇඳ මෙට්‌ටයේ සිට ගෙදර දොර වටිනා කියන සියලුම භාණ්‌ඩ නැවත භාවිත කිරීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගතව තිබේ. නායගිය ප්‍රදේශවල බොහෝ දෙනෙක්‌ගේ ඥාති හිතමිත්‍රාදීන් වැඩිදෙනෙක්‌ මියගොස්‌ය. 

තවත් පිරිසක්‌ අතුරුදන්ය. කොළඹ ප්‍රදේශයේ ජලයෙන් යටවූ බොහ ප්‍රදේශවල අයට තිබෙන ලොකුම ප්‍රශ්නයවී ඇත්තේ අහිමිවූ සියලු දේ ගොඩනගා ගැනීමට උත්සාහ දැරිය හැකි වුවද තවමත් "අපායක" ජීවත්වීමට සිදුව තිබීමය. 

කොළඹ ප්‍රදේශයේ කොළොන්නාව, සේදවත්ත, වැල්ලම්පිටිය, කැලණිය මේ ආදී වශයෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව සිය සුපුරුදු ජීවිතයට නැවත පැමිණෙන්නට උත්සාහ දරන්නේ අපද්‍රව්‍ය පිරුණු ගඳගසන, මැස්‌සන් හා වෙනත් කෘමි සතුන් පිරීගත් පරිසරයක හිඳිමිනි.

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා පසුගිය දිනෙක පළාත් පාලන ඇමැතිවරයා සමග සාකච්ඡා කර දින තුනක්‌ ඇතුළත මේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන බව කියෑවෙන තොරතුරක්‌ද ඊයේ පෙරේදා වාර්තා විය. 


ඒ අතරම රූපවාහිනි නාලිකා මගින් විකාශය කෙරෙන ප්‍රවෘත්තිවල දක්‌නට ලැබුණේ යුද හමුදාවද කැපවීමෙන් මැදිහත්වී ඒ ජරා ගොඩවල් ඉවත් කිරීමට කටයුතු කරන බවය. (විවිධ ප්‍රශ්න තිබුණද කාට කාටත් කෝකටත් තෛලය වී තිබෙන්නේ ඒ උදාරතර මිනිසුන්මය. 

ඒ වෙනම කතාවකි. එහෙත්, කළ සියල්ලටමද කරමින් සිටින්නා වූ සියල්ලටමද ත්‍රිවිධ හමුදාවට නැවත නැවතත් ප්‍රණාමය පුදකරන්නට මෙය අවස්‌ථාවක්‌ කර ගනිමු.)

අප විශ්වාස කරන්නේ මේ පිරිසිදු කිරීම් හෝ ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමට ගත් කාලය තරමක්‌ දිග බවය. විවිධ ස්‌වේච්ඡා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, රජයේ ආයතන බොහොමයක්‌ බොහ සෙයින් කැපවී ආපදාවට ලක්‌වූවන්ට සහන සැලසීමට, උදවු උපකාර කිරීමට එකතු වූ බව අමුතුවෙන් කිවයුතු නැත. 


එහෙත් ඒ සියලුදෙනාගෙන්ම ලැබුණු සහාය මීටත් වඩා නිවැරදි අන්දමින් කළමනාකරණය කර ගැනීමට අදාළ වගකිව යුතු ආයතනවලට හැකියාව ලැබිණි නම් ආපදාවට ලක්‌වූ දහස්‌ ගණනකට මේ වන විටත් සිය සාමාන්‍ය ජීවිතයට එළැඹීමේ අපහසුවක්‌ පැන නඟින්නට නොතිබිණි. 

ආපදා තත්ත්වය හටගෙන සති තුනක්‌ ඉක්‌ම යන මේ මොහොතේ ආපදාවට ලක්‌වූ පිරිස කියන්නේ තවමත් තමන්ට කෑම බීම ලැබීමේ අඩුවක්‌ නැති බවය. එහෙත් විනාශව ගිය බඩු බාහිරාදිය නැවත ලබාගැනීමේ මගක්‌ පෙන්වීමට හෝ කිසිවෙක්‌ නැති බවද ඒ පිරිස වැඩිදුරටත් පවසති. 

ඇත්ත, මේ සියල්ලගේම අවශ්‍යතා ඒ ආකාරයෙන්ම සපුරාලීමේ හැකියාවක්‌ කවර හ ආණ්‌ඩුවකට නැත. එහෙත් අප සුනාමි අත්දැකීම් පූර්වාදර්ශ කරගත් විට එය එතරම්ම අපහසු කාරණාවක්‌ බවට පත්වන්නේ නැති බවද කිව යුතුය.

ජනතාවට සහන සැපයීමට රටවල් ගණනාවක්‌ ඉදිරිපත් විය. බඩු බාහිරාදිය බොහ සෙයින් ලැබිණි. නැව්, ගුවන් යානා පිටින් ඉන්දියාවෙන් බොහෝ දේ ලැබුණු බව කීවේ ආණ්‌ඩුවය. ඒවා මෙරටදී බාරගන්නා ආකාරය විද්යුත් නාලිකා මගින් ප්‍රචාරය විය. 


පුවත්පත්වල ඡායාරූප වාර්තා පළවිය. කෙසෙල් ගෙඩියක්‌ බෙදන විටත් ගංවතුරේ මාධ්‍ය හමු පවත්වන කෑම පැකැට්‌ටුවේ නම මුද්‍රණය කරන දේශපාලනඥයන් සිටින රටක නැව්, ගුවන්යානා පිටින් ගෙන ආ බඩු බෙදාදීම ගැන සද්දයක්‌ හෝ නැතිවීම ගැන අපට නම් ඇත්තෙන්ම පුදුම හිතෙන බව කිව යුතුය. 

එක්‌කෝ අපට නිගමනය කරන්නට වන්නේ හැමදාමත් සිදුවන ආකාරයට තවමත් ආපදාවට ලක්‌වූ පිරිස ගැන නිවැරදි දත්ත රජයේ වගකිවයුතු ආයතනවලට නැති බවය. 

එහෙමත් නැතිනම් එම බඩු බෙදා හැරීමට නිසි ක්‍රමවේදයක්‌ තවමත් සකසා නැති බවය. ඒ කිසිවක්‌ම නොවේ නම් හැමදාමත් සිදුවන ආකාරයට කවුරුන් හෝ ඒ බඩු බාහිරාදියෙනුත් යටිමඩි ගැහීමකට සූදානම් වන බවය.
 
Related Posts with Thumbnails