Ads 468x60px

.

කොසු මිටෙන් ගසා අවුරුදු දෙකේ දරුවා ඝාතනය කළ පාපතරයා..

අවුරුදු 02ක සිය කුඩා දරුවා අනියම් සැමියා විසින් කොසු මිටකින් ගසා මරා වළ දැමු සිද්ධියකට සම්බන්ධ සැකකාර මව මහියංගන පොලිසිය විසින් පෙරේදා (12දා) දහවල් මහියංගන රිදිමාලියද්ද ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබීය. 

මෙම සැකකාරියගේ අනියම් සැමියා විසින් මෙම ඝාතනය සිදු කර ඇති අතර ඔහු සමඟ එක්‌ව දරුවාගේ සිරුර අනියම් සැමියාගේ නිවස ආසන්නයේ වළ දැමු බව මහියංගන පොලිසිය විසින් සිදු කරනු ලැබු ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පාපොච්චාරණය කර ඇත.
 

මොකද අනේ මගේ පැටියා හුඟ දවසකින් මට කතාකරේ නැත්තේ එයා නිදි.. ඔයාත් ඉතින් කතාකරන්නේ පැටියා නිදාගත්තාමනේ.. දින
කිහිපයකට පසු අදවත් මගේ පැටියාට මට කතාකරන්න බැරිද? 

මහත්තයා මගෙන් යළි යළිත් ඇවිටිලි කර කර ඇහුවා. හැමදාම බොරු කිය කියා ඉන්න බැරිම තැන මම ඔයාගේ පුතා පඩි පෙළෙන් වැටිලා මියගියා. 

මම බයට කාටත් නොකියා කැලණි ගඟට විසිකරා කියාල බොරුවට කිව්වා. මම කියපු කතාව ඇත්තද? බොරුද? විහිලුවක්‌ද කියා නොදන්න නිසා ඒ විගසින් රිදිමාලියද්දේ ඉඳලා මහත්තයා කොළඹ ආවා. ඉන්පසු අපි කොළඹ කොටුවේදී හම්බ වුණා. 

දරුවා ගැන මම එයාට කිව්වා. එයා කිවුවා මිරිහාන පොලිසියට යමු කියලා. එයා මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්‌ කිරීමට ගිය බවත් කීවා. ඊට පස්‌සෙ මම කිව්වා අපි මහියංගනයට යමු කියලා. පස්‌සේ අපි සවස කොළඹ බිබිල බස්‌ එකෙන් ගෙදරට ආවා. 

ඒ ගෙදර ඇවිල්ලා ඉන්න කොට පොලිසියෙන් ඇවිල්ලා මාව මහියංගනය පොලිසියට රැගෙන ගොස්‌ මගෙන් ප්‍රශ්න කළා. ඉන් පසු මගේ දරුවාට සිදු වු සත්‍ය දෙය මම පොලිසියේ නිලධාරීන්ට කියා සිටියා.

වයස අවුරුදු 02ක්‌ වු එස්‌. එම් මිනුල් දේවිතිස්‌ යන දරුවා පසුගිය 2016.05.08 දින ගොඩගමදී එසේ ඝාතනය කර සැඟවීමට උපකාර කිරීම සම්බන්ධයෙන් දරුවගේ මව වූයේ අවු. 26 ක නවගමුව ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවයේ යෙදී සිටි කාන්තාවකි. 


සැමියා සමඟ අමනාප වී තම දරුවා සමඟ ඇඟලුම් ආයතනයක සේවය සඳහා සැකකාරිය කොළඹ ප්‍රදේශය වෙත පැමිණ ඇති අතර මෙම සිදුවීම වී ඇත්තේ එහිදීය.

"මම රැකියාවක්‌ ලෙස නවගමුව ප්‍රදේශයේ ඇඟලුම් ආයතනක සේවය කළා. ඒ 2015 දෙසැම්බර_ මාසයේ සිට 2016 මාර්තු 16 වන දින දක්‌වා. ඒ ආයතනයෙන් වැටුප් හරියට ගෙව්වේ නැති හින්දා මම ඒ ආයතනයෙන් අස්‌ වෙලා වැඩකට යන්නේ නැතිව පුතා එක්‌ක ගොඩගම හංදිය අසල කුලියට ගත්ත තනි කාමරයක නැවතිලා හිටියා. 


කලින් වැඩකරද්දි ඉතුරු කරපු සල්ලි ටිකක්‌ තමයි අපි දෙන්නාට ජීවත් වෙන්න තිබ්බේ. මේ ඉන්න අතර කාලයේදී මම මීගොඩ ප්‍රදේශයේ පදිංචි කෙනෙක්‌ එක්‌ක සම්බන්ධතාවක්‌ පැවැත්වුවා.

දවසක්‌ එයා මගේ බෝඩිමට ආවා පහුවදා උදේ අවදි වුණා. පුතායි එයායි බිම නිදාගෙන සිටියේ. මම තේ හදලා පුතාටයි එයාටයි කතා කළා. තේ බීලා ඉවර වෙලා මගේ පුතා කාමරය ඇතුළේ සෙල්ලම් කරමින් සිටියා. 


ඒ සෙල්ලම් කරමින් ඉන්නකොට පුතාගේ අතේ නියපොතු වලින් එයාගේ අතසීරුණා. "මූට තියෙන්නේ තාත්තාගේ පුරුද්දයි. මූණමයි" කියලා අතින් පහරවල් පහ හයක්‌ හයියෙන් ගැහුවා. ඒ වෙලාවේ මම දරුවා ළඟට ගිහිල්ලා දරුවාට ගහන්න එපා කියලා දරුවා අල්ලා ගත්තා. 

එයා මාව තල්ලු කරලා දාලා කාමරයේ ඇද යට තිබුණු කොසු මිටක්‌ අරගෙන මගේ පුතාගේ පිට ප්‍රදේශයට සහ බඩ පැත්තට හයියෙන් පහරවල් කිහිපයක්‌ ගැහුවා. ඒ එක්‌කම පුතා බිම ඇඳගෙන වැටුණා. 

ඊට පස්‌සේ මම පුතාව උස්‌සලා අරගෙන ඇදෙන් තියලා පුතාගේ කටට කට තියලා හුස්‌ම ගැනීමට උත්සහ කෙරෙවුවා. ඊට අමතරව බඩ ප්‍රදේශයද තද කරලා හුස්‌ම ලබා ගැනීමට උත්සහ කළා. වැඩක්‌ වුණේ නැහැ. මම ඊට පස්‌සේ දැක්‌කා පුතාට ගහපු පහරවල් නිසා පුතාගේ බඩ ප්‍රදේශයේ සහ මූණ ප්‍රදේශයේ තැලිම් තුවාල තියෙනවා ඒ එක්‌කම ටිකක්‌ වෙලාවක්‌ යනකොට පුතාගේ කටින් රතුපාට ලේ වගයක්‌ එන්න ගත්තා. 

මම හයියෙන් කෑගැහුවා. ඒ කෑ ගහනකොට එයා මට තර්ජනය කරලා කිවුවා තෝ කෑගහන්න එපා. කෑ ගැහුවොත් උඹත් මෙතනම මරණවා කියලා. මම සද්ද නැතුව හිටියා. මම දරුවාත් අරගෙන යනවා කියලා යන්න ලෑස්‌ති වුණා. එයා ගෙදරින් යන්න ගියා. එතකොට උදේ 9-10 විතර ඇති.

දරුවා අරගෙන රෝහලකටවත් ගියේ නැත්තේ මට ගහයි මරයි කියන බය හින්දා. 11.30 ත් 12.00 ත් අතර කාලයේදී එයා ආපහු බෝඩිමට ආවා. ඒ ඇවිල්ලා මේක කාටවත් කියන්න එපා. කිවුවොත් උඹත් උඹේ පවුලේ අයත් සේරම එක්‌ක මම හිරේට යනවා. 


ගිහිල්ලා අවුරුදු පහකින් හරි එළියට ඇවිත් උඹලා සේරම මරණවා. කියලා ආපහු තර්ජනය කරා. අපි දෙන්නාම බෝඩිමේ රෑ වෙනකම් දරුවා තියාගෙන හිටියා. පස්‌සේ අපි දෙන්නා එකතුවෙලා පුතා පැනල් රෙදි කෑල්ලක ඔතාගෙන ගොඩගම හංදියේදී ත්‍රිවිල් එකක නැගලා ඒයාගේ ගෙවල් පැත්තට ගිහින් ත්‍රිවීල් එක ආපහු එවුවා. 

පස්‌සේ එයාලාගේ ගෙවල් අසල පාලු නිවසක්‌ ළඟට ගියා. එයා උදැල්ලකුත් අරගෙන ඇවිත් බැම්ම අයිනේ අඩි තුනක්‌ විතර වළක්‌ කැපුවා. එයා ඒ වළ කපලා මගේ අතේ හිටිය දරුවා අරගෙන දරුවා වළට දාලා පස්‌ දාලා වහලා දැම්මා. ආපහු බෝඩිමට ආවා.

එදා රෑ අපි දෙන්නා බෝඩිමේ ඉඳලා පහුවදා මගේ රෙදි ටිකත් අරගෙන මම ගෙදර යන්න පිටත් වුණා. උඹ ගෙදර යන්න එපා කියලා මට කොට්‌ටාව පැත්තේ බෝඩිමක්‌ හොයලා දුන්නා. මම ඒ බෝඩිමේ නැවතිලා ඒ ළඟ ඇඳුම් මහන තැනක ඇඳුම් මහන්ඩ ගියා. එසේ පුතාට පහරදී මරා දැමීම මම මගේ පුරුෂයාටවත් මගේ ගෙදර අයටවත් වෙනත් ඥාතියෙකුටවත් කිවුවෙ නෑ.

මගේ විවාහක පුරුෂයා මට දුරකථනයෙන් කතා කරලා පුතා කෝ කියලා නිතර නිතර අහන්න ගත්තා. ඉන් පස්‌සේ තමයි මාව හොයාගෙන මහත්තයා කොළඹට ආවේ යෑයි සැකකාරිය පාපොච්චාරණය කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියගේ අනියම් ඇසුර සම්බන්ධයෙන් විවාහක සැමියා වෙත තොරතුරු ලැබීමෙන් පසු වරක්‌ ඔහු විසින් අනියම් පුරුෂයා හට බැන වැදීම හේතුවෙන් එහි පළිය ගැනීමට දරුවාට මෙය සිදු කළේද යන්න පිළිබඳ පොලිසිය සැක පල කර සිටින අතර පොලිස්‌ පරීක්‌ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙයි.

වයස 29ක්‌ වූ සැකකාරියගේ අනියම් සැමියාද මේ වන විට අතුරුගිරිය පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත. දරුවාගේ මිනීමැරුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‌ෂණ කටයුතු හා අධිකරණ කටයුතු සිදු කිරීම සඳහා සැකකාරිය අතුරුගිරිය පොලිසිය වෙත බාරදීමට නියමිතව තිබේ.
 
Related Posts with Thumbnails