Ads 468x60px

.

හැමදේටම වැස්‌ස කෝකටත් තෛලය කරගත යුතු නැත


හැමදාමත් අපට ඇසෙන්නේ බඩුමිල අඩු බවය. ඒ බව තේරෙන්නේ කඩපිලට, පොළට ගිය විටය. බඩුමිල අඩු බව අපට කියන දේශපාලනඥයන්ට විසඳාගන්නට බොහෝ ප්‍රශ්න තිබෙන බැවින් ජනතාව කියනදේ අහන්නට වේලාවක්‌ ද නැත. ඒ නිසාම ඒ ප්‍රශ්න අපටම විසඳාගන්ට සිදුව තිබේ.

ඊයේ වන විට වාර්තා වන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කීපයක තොග මිල වැඩිවී තිබේ. තොග වෙළෙන්දන් කියන ආකාරයට සීනි කිලෝවක මිල රුපියල් 95 සිට රුපියල් 115 දක්‌වාද, කඩල කිලෝවක මිල රුපියල් 110 සිට රුපියල් 130 දක්‌වාද, පොල්තෙල් ලීටරයක මිල රුපියල් 245 සිට

රුපියල් 285 දක්‌වාද, හාල්මැස්‌සන් කිලෝවක මිල රුපියල් 440 සිට රුපියල් 550 දක්‌වාද, රටඉඳි කිලෝවක මිල රුපියල් 200, 210 සිට රුපියල් 240 දක්‌වාද මිල ඉහළ ගොස්‌ තිබේ. 

මේ සියල්ලටම වඩා සහල් මිල ඉහළ ගොසිණි. තොග මිල වැඩිවනවාය යන්නෙන් අදහස්‌ වන්නේ හෙට අනිද්දා වන විට අත්‍යාවශ්‍ය භාණ්‌ඩ කිහිපයක මිල ඉහළ යැමට ඉඩ ඇති බවය.

ඇත්තම කතාව වන්නේද රජය නියම කර ඇති පාලන මිලට වඩා වෙළෙඳපොළේ බඩුමිල වැඩි බවය. වෙළෙන්දන්ගෙන් මේ ගැන ඇසූවිට ඉදිරිපත් කරන තර්ක බොහොමයකි. ඒවා ආණ්‌ඩුව කියන, පාලන මිල කතන්දරයත්, අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල අඩුකර ඇතැයි කියන කතාවත් පයිසෙකට මායිම් නොකරන ඒවාය. දැන් මේ දිනවල එළවළු මිලද ඉහළ යමින් තිබේ.

මේ කොයි එකටත් උත්තරය ගංවතුරය, වැස්‌සය. එහෙත් හරි වැස්‌ස මෙහෙත් හරි වැස්‌ස බව ඇත්තය. එහෙත් මේ මිල ඉහළ යැම පාලනය කළ හැක්‌කකි. ජනතා නියෝජිතයන්ට ඒ ගැන කතා කළ හැකි මුත් කිසිවෙකුත් ඒ ගැන කතා කරන බවක්‌ වත් නොපෙනේ. 


කාගේ කාගේත් වාසනාවට කොස්‌ගම සාලාව ප්‍රදේශයේ අල, එළවළු වගා බිම් නැත. අප කතා කරන්නේ ගෙදර මිදුලේ වවන වම්බටු, තිබ්බොටු, මෑකරල්, වට්‌ටක්‌කා, පිපිඤ ගැන නොවේ. 

මහා පරිමාණ එළවළු වගාවන් ගැනය. මීගොඩ ආර්ථික මධ්‍යස්‌ථානය පිහිටා ඇත්තේ ඒ අහල පහලය. එහෙත් එළවළු මිල ඉහළ යැමට සාලාව පුපුරා යැම කොහෙත්ම බලපාන්නේ නැත. එසේ නම් අත්‍යාවශ්‍ය භාණ්‌ඩවලත්, එළවළුවලත් මිල ඉහළ යැමට කිසියම් හේතුවක්‌ තිබිය යුතුය.

පාරිභෝගික සේවා අධිකාරිය කියන ආකාරයට, නියම කළ පාලන මිලට ඇතැම් භාණ්‌ඩ අලෙවි කිරීමට නොහැකි බව පාරිභෝගික සේවා අධිකාරිය හඳුනාගෙන තිබේ. ඔවුන් කියන ආකාරයට අත්‍යාවශ්‍ය භාණ්‌ඩ සඳහා පාලන මිලක්‌ නියම කරන ලද්දේ 2015 නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලදීය. එදා නියම කළ මිලට සමහර අත්‍යාවශ්‍ය භාණ්‌ඩ අලෙවි කිරීමේදී වෙළෙන්දන්ට ගැටලු මතුවේ.

මේ තත්ත්වය අපට තවත් සරල උදාහරණයක්‌ මගින් තේරුම් ගත හැක. තොග වෙළෙන්දන් ආනයනය කරන සමහර භාණ්‌ඩ පාලන මිලට වඩා විකිණීමට සිදුවන අවස්‌ථා තිබේ. (පසුගිය කාලයේ රජය පැනවූ යම් යම් බදුවර්ග නිසාද මෙවැනි තත්ත්වයක්‌ මතුවිය හැක.) ආණ්‌ඩුව අත්‍යාවශ්‍ය භාණ්‌ඩ හා සේවා කිහිපයක්‌ වැට්‌ බදුවලින් නිදහස්‌ කළ බව කීවද මේ ආකාරයේ වංගු ගසා එන මිල වැඩිවීම වැළැක්‌වීමක්‌ ගැන කතා කළේ නැත.

ඇත්ත වශයෙන් භාණ්‌ඩ සඳහා පාලන මිලක්‌ නියම කරන්නේද අපට (ජනතාවට) ඒ මිල වුව දරාගත නොහැකි මට්‌ටමක තිබියදීමය. මිලදී ගැනීමේ හැකියාව යනු "ක්‍රය ශක්‌තියයි". මේ පාලන මිලට (එහා මෙහා වන පාලන මිල) අදාළ ක්‍රය ශක්‌තිය ගැන කාටත් වඩා දන්නේ ජනතාවමය. ඒ නිසා ආණ්‌ඩුව ජනතාව කියන දේ විශ්වාස කළ යුතුය. 


එය විශ්වාස කළ, ඊට ඇහුම්කන් දුන් ආණ්‌ඩුවක්‌ ඉතිහාසයේවත් නැති බව ඇත්තය. එය වෙනම කතාවකි. මේ ආණ්‌ඩුව බලයට එන විට කී කතා පරණ ආණ්‌ඩුවලට වඩා බොහෝ වෙනස්‌ය. ජනතාව ඒ වෙනස විශ්වාස කළහ. දැන් හැමදේටම වැස්‌ස කෝකටත් තෛලය කරගත යුතු නැත. වැස්‌ස නැති විට තොග වෙළෙන්දන්ගේ, එළවළු වෙළෙන්දන්ගේ "මාµsයා" ගැන කතා ඵලක්‌ නැත.
 
Related Posts with Thumbnails