Ads 468x60px

.

ඔන්න ආයෙත් කුඩු කන්ටේනරයක්‌....


සීනි කන්ටේනරයක සඟවා ගෙන එන ලද කෝටි 200 ක කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 91.3 ක පමණ තොගයක්‌ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. 

මෙය ඉතිහාසයේ මෙරටදී ඇල්ලූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව කියෑවේ. පසුගිය කාලයේ මෙවැනි මත්ද්‍රව්‍ය තොග ගණනින් අත්අඩංගුව ට ගන්නා ලදී. එසේ තිබියදීත් ඊටත් වඩා වැඩි මත්ද්‍රව්‍ය තොගයක්‌
මෙරටට ගෙන්වීම තුළින් පැහැදිලිවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාට මේ අත්අඩංගුවට ගැනීම් කඡ්ජක්‌ බවය.

මත්ද්‍රව්‍ය තොගය තිබූ කන්ටේනරය මෙරටට ගෙන්වා ඇත්තේ මෙරටට සීනි ආනයනය කරන සීනි සමාගමක්‌ය.

ආනයනික භාණ්‌ඩ බොහොමයකට බදු වැඩිකළ නිසා එම ව්‍යාපාරිකයාට සීනි වෙනුවට කොකේන් ගෙන්වීම ලාබදායක බව කල්පනා වුණාදැයි යන්න වෙනම කාරණයක්‌ය. එම කන්ටේනරය ගෙන්වා ඇත්තේ බ්‍රසීලයේ සිටය. 


කරුමයකට මෙන් මේ කන්ටේනරයේ තිබූ කුඩු තොගය රේගුවේ ස්‌කෑන් යන්ත්‍රයටද හසුවී නැත. එවැනි ආශ්චර්යවත් දේ ශ්‍රී ලංකාවේ සිදුවන බවත් ඉදිරියේදීත් සිදුවීමට නියමිත බවත් බොහෝ දෙනෙක්‌ දන්නා නිසා ඒ ගැන වැඩිදෙයක්‌ ලියන්නට අප කල්පනා කරන්නේ නැත.

කෙසේ හෝ කුඩු ජාවාරම්කරුවන් බුරුතු පිටින් සිපිරිගෙයි ලගින, තවත් පිරිසක්‌ පිටරට සැඟව සිටින රටේ කුඩු කන්ටේනර් පිටින් හමුවීම නැවතී නැත. එය පුදුමවන්නට කාරණයක්‌ නොවන බව අපි බොහෝ අවස්‌ථාවල සටහන් කර ඇත්තෙමු.

එසේ අත්අඩංගුවට ගත් කුඩු තොගය පරීක්‍ෂා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ මුදල් ඇමැති රවි කරුණානායකද ඔරුගොඩවත්ත රේගු අංගනයට පැමිණ සිටියහ. 


මත්ද්‍රව්‍ය තොගයක්‌ පරීක්‍ෂා කිරීම සඳහා මෙරට ජනාධිපතිවරයකු කන්ටේනර අංගනයකට පැමිණි පළමු අවස්‌ථාව මෙය විය හැකිය. එහිදී ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රකාශය ඉතාම වැදගත්ය.

"මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් බොහෝ වේලාවට රජයන් විසින් ගනු ලබන වැඩපිළිවෙල තුළ අඩුපාඩුකම් දුර්වලකම් ඇතිවිය හැකියි. එහෙත් මෙවැනි කටයුතු වලින් පේනවා අපේ මේ නිලධාරීන් ඉතාම අවංකව ඒ කටයුතු කරන බව."

ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස අපිදු මීට පෙර බොහෝ අවස්‌ථාවල පෙන්වාදී ඇත්තෙමු. රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙල මෙහෙයවන්නේ විවිධ ඒකකයන්ය, නිලධාරීන්ය. එවිට යම් යම් අඩුපාඩු මතුවීම සාමාන්‍යය. 


එහෙත් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මේ "අඩුපාඩු" කතාව සියයට සියයක්‌ම එකඟවිය නොහැකි කතාවකි. අප "අඩුපාඩු" හැටියට දකින්නේ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීමත්, මුදලට, වරප්‍රසාද වලට ලොල්බදින ඒ වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක්‌ කරන්නට එක පයින් ඉදිරිපත්වන නිලධාරීන් සුළු පිරිසක්‌ද මත්ද්‍රව්‍ය ජාවාරම මැ`ඩලීමේ ව්‍යාපාර වලට සම්බන්ධව සිටීමත්ය. 

හොඳම උදාහරණය බන්ධනාගාරයයි. බන්ධනාගාරය යනු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තිප්පොලක්‌ වැනිය. බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙකුට ඒ සඳහා අඩුපාඩුවක්‌ නැත. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් පඩි ලබන, ඇතුළේ සිටින රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන නිලධාරීන් පිළිබඳ පසුගිය දිනවල දිගින් දිගටම වාර්තාවන්නේ ඒ නිසාය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන තක්‌කඩියෝ ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කරති. මහ මුහුදෙහිද ජාවාරම ක්‍රියාත්මකය. ඩිංගි බෝට්‌ටු, ට්‍රොලර් යාත්‍රා ඒ සඳහා යොදා ගැනෙති. තඩි නැව් වලින් කුඩු ගෙන ආ අවස්‌ථාද තිබිණි. 


කන්ටේනර් පිටින්ද කුඩු එන්නේය. එපමණක්‌ නොව වාහන අමතර කොටස්‌ තුළ සඟවාගෙනද කුඩු ගෙන එති. තවත් සමහරු ගුද මාර්ගය ගබඩාවක්‌ හැටියට යොදාගෙන කුඩු ගෙන ආ අවස්‌ථා වැඩිය.

මත්ද්‍රව්‍ය මෙරටට ගලා ඒම පිටුපස සිටින්නේ දැවැන්ත ජාවාරම් කරුවන්ය. නමුත් බන්ධනාගාර පිරෙන්නට අල්ලාගන්නේ හාල්මැස්‌සන්ය. තෝරු මෝරු ඇල්ලීම පහසු කාරණයක්‌ නොවේ. 


ඒ එවැන්නන්ට දේශපාලන සබඳතා මෙන්ම තවත් බොහෝ බලවත් අයගේ ආරක්‍ෂාව අනුග්‍රහය ලැබෙන බැවිනි. ජනපතිවරයා කියන පරිදි මෙවැනි බරපතළ නීති විරෝධී කටයුතු කරන අය සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. ඊට පෙර කුඩු ජාවාරමේ තෝරු මෝරු සහ ඒ පිටුපස සිටින බලවතුන්ද හඳුනාගත යුතුය.


 
Related Posts with Thumbnails