Ads 468x60px

.

ඒ කන්ටේනරුත් හොරෙන්ම රට ඇතුළට...


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 මැයි මාසයේ 22 වැනිදා වැදගත් ප්‍රකාශයක්‌ කළේය. ඒ, "ග්ලයිෆොසේට්‌" අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම හා අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කරන බවය. 

ජනාධිපතිවරයාට මේ ප්‍රකාශය කරන්නටත්, වහාම ක්‍රියාත්මක වන්නටත් සාධාරණ හේතුව වූයේ මෙරට කෘෂිකාර්මික ප්‍රදේශ රැසක ව්‍යාප්තව ඇති වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක්‌ ලෙස ග්ලයිෆොසේට්‌ හඳුනාගෙන
තිබීමය.

එහෙත් "රට වුව විකුණන් කන්නෙමි" යෑයි සිතා සිටින අමනයන් සුළුතරයක්‌ ද වෙසෙන ශ්‍රී ලංකාවේ එය එතරම්ම පහසු දෙයක්‌ නොවන බව ජනාධිපතිවරයා ද හිතට ගන්නට ඇති බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරමු. එය එසේමය, 


ජනපතිවරයා එම ප්‍රකාශය කර දින කිහිපයක්‌ ඉක්‌ම යන්නට පෙර එනම් මැයි 25 වැනිදා වන විට එවැනි අමනයන් පිරිසක්‌ කළේ රේගුව භාරයේ තිබූ ග්ලයිෆොසේට්‌ කෘෂි රසායනය අඩංගු කන්ටේනර් 15 ක්‌ හොරෙන්ම මුදාගැනීමය.

එම කන්ටේනර් 15 එදවස සිට අද දක්‌වාත් තිබුණේ කොහේද? හොරෙන්ම බෙදාහැරියාද මේ කිසිවක්‌ හෙළි වූයේ නැත. කිසිවෙකුත් ඒ ගැන සොයන්නට මහන්සි ගන්නා බවක්‌ පෙනුනේ ද නැත. රට යන අත ගැන හිතන විට ඒවා පුදුම වන්නට කාරණාද නොවේ.

දැන් ඒ පරණ කතාවට අලුත් කතාවක්‌ එක්‌වී තිබේ. ඒ එතරම් දැඩි තීරණයක සිටින ජනපතිවරයාටත් කොකා පෙන්නමින් ග්ලයිෆොසේට්‌ කෘෂි රසායනයටත් වඩා පහළොස්‌ ගුණයකින් විෂ වැඩි ග්ලූෆොසිනෙට්‌ නමැති රසායනය මෙරටට ගෙන්වීමය. මෙහි ඇති විශේෂිතම සිදුවීම වන්නේ ඊට ජනපති ලේකම් කාර්යාලයේම නිලධරයකු සම්බන්ධව සිටින බවට තොරතුරු වාර්තා වීමය.

"ග්ලයිෆොසේට්‌" ගොවිතැනට පස සකස්‌ කිරීමේදී බහුලව යොදාගත් රසායනිකයකි. කිවුල් ජලය ඇති ප්‍රදේශවල එය භාවිත කිරීම මගින් වකුගඩු රෝගය ඇතිවීමේ ප්‍රතිශතය වැඩි වන බව පර්යේෂණ මගින් සනාථ කර තිබේ. ගෙන්වා ඇතැයි කියන "ග්ලූෆොසිනෙට්‌" කෘෂි රසායනය නිෂ්පාදනය කර ඇත්තේ තේ වගාවේ යටි වල් පැල මර්දනය සඳහා බව සඳහන්ය. 


එහෙත් විශේෂිතම කරුණ වන්නේ එම කෘෂි රසායනය මෙරටදී භාවිත කරන්නේ කුඹුරු වගාවේ වල් මර්දනය කිරීම සඳහා වීමය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විෂ රසායන වර්ග තහනම් කරමින් හා සීමා කරමින් ද වකුගඩු ප්‍රතිකාර රෝහල් විවෘත කරමින්ද විශාල වැඩ කොටසක්‌ සිදු කරමින් සිටින මොහොතක කවරකු හෝ මෙවැනි ජඩ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීම කාගේ කාගේත් සැළකිල්ලට ලක්‌විය යුතුය.

ග්ලයිෆොසේට්‌ වෙළෙඳපොළට පැමිණෙන්නේ 1970 තරම් ඈත දශකයකදීය. ඒවා වැඩි වශයෙන් භාවිත කරන්නේ වල් පැලෑටි නාශක වශයෙනි. ප්‍රංශයේ පිළිකා පර්යේෂණ පිළිබඳ ජාත්‍යන්තර ඒජන්සිය (International Agency for Research on Cancer - ICAR) සඳහන් කරන්නේ ග්ලයිෆොසේට්‌ පිළිකා කාරකයක්‌ විය හැකි බවය. 


ඇමරිකාවේ මධ්‍ය බටහිර ප්‍රදේශයේදී පිරිමින් ආශ්‍රිතව කරන ලද පර්යේෂණයකින් ඒ බව සනාථ කරගෙන ඇත. "ග්ලූෆොසිනෙට්‌" සම්බන්ධයෙන් ද ඔවුන් දරන්නේ එවැනි අදහසකි. ග්ලයිෆොසේට්‌වලට වඩා පහළොස්‌ ගුණයකින් විෂ වැඩි කෘෂි රසායනයක්‌ ගැන අමුතුවෙන් පර්යේෂණ කළ යුතු නැත.

රටේ ජනතාවට වස කවා හෝ මඩිය තර කර ගන්නා ඕනෑම අමනයකු ස්‌ථිර වශයෙන්ම දැනගත යුතු කාරණයක්‌ තිබේ. එනම් කොලොම්බියාවේ නීති විරෝධීව වගා කරන කොකේන් විනාශ කිරීම සඳහා පවා ග්ලයිෆොසේට්‌ හා ග්ලූෆොසිනෙට්‌ යොදා ගැනීම තහනම් කර ඇති බවය. විනාශ කිරීම සඳහා විනාශකාරී දෙයක්‌ භාවිත නොකරනවා නම් එහි ඇති දරුණු ප්‍රතිවිපාක ගැන අමුතුවෙන් කිව යුතු නැත.

අපේ අදහස මේ විෂ කෘෂි රසායන අඩංගු කන්ටේනර ද රේගුවෙන් හොරෙන්ම මුදාගෙන රට තුළට ගෙන ඒමට ඇති ඉඩකඩ වහා අසුරා දැමිය යුතු බවය.
 
Related Posts with Thumbnails