Ads 468x60px

.

සහනාධාර "බහිරව පූජාවකට" ගෙන ඇති බව..


පසුගිය මැයි මාසයේ සිදුවූ ගංවතුර, නායයැම් ආපදාවන් නිසා ඇතිවූ විපතට ඉකුත් සතිය වන විට මාසයක්‌ පිරී තිබිණි. තවමත් රටේ සියලුම මාධ්‍යයන්ට එම ආපදා විපතත්, මැයි මාසයේම සිදුවූ කොස්‌ගම හමුදා කඳවුර පුපුරා යැමේ සිදුවීමත් අලුත්ම ප්‍රවෘත්තිය. 

ඊට හේතුව වී ඇත්තේ ආපදා තත්ත්වය පහව ගියද, එය කළමනාකරණය කර ගැනීමේ බරපතළ අවුලක්‌ පෙනෙන්නට තිබීමය. ඒ නිසාම එම විපත නිසා අවතැන් වූ ජනතාවට තවමත් විඳින්නට සිදුව තිබෙන දුක්‌ගැහැට,
පීඩාවන් පිළිබඳව නිතර නිතර කතා කරන්නට සිදුව තිබේ. 

කවදත් සිදුවන ආකාරයට, මේ රටේ වගකිවයුතු ආයතනවලට, දේශපාලන අධිකාරයට මේ ප්‍රශ්නයට හරි විසඳුමක්‌ ලබාදීමේ සැලසුමක්‌ නිර්මාණය කිරීම "කල්ගන්නා" අර්බුදයක්‌ බවට පත්ව තිබේ. 

"සුනාමි"ය වැනි බරපතළම ෙ€දවාචකයකින් පසුව මීරියබැද්ද දක්‌වා අප අත්වින්ඳේ එම "අපිළිවෙල" සහිත දේශපාලන මැදිහත්වීම්ය. වර්තමානයේ අත්විඳින්නට සිදුව ඇත්තේද එහි දිගුවක්‌ මිස අනෙකක්‌ නොවේ.

ආපදා කළමනාකරණ ඇමැතිවරයා ඇතුළු තවත් "සම්භාවනීය" පිරිසක්‌ විපත සිදුවී මාසයක්‌ පිරෙන සතියේ අරණායක ජනතාව සමග සාකච්ඡාවකට ගියහ. ජනතාව එකට එක්‌වී "හූ" කියමින් ආවේගශීලීව අදහස්‌ දක්‌වමින් ඇමැතිවරයා ඇතුළු පිරිසගේ මැදිහත්වීම ප්‍රතික්‍ෂේප කළහ. 


කුණු බිත්තර, අශූචි ප්‍රහාරයකට ලක්‌ නොවී බේරීයැමට හැකිවීම ගැන ඒ මැති ඇමැතිවරු සතුටු විය යුතුය. මේ මැදිහත්වීම් ජනතාව එක හෙළා ප්‍රතික්‍ෂේප කරන්නේ ඇයි? එපමණකටම, රටේ දේශපාලන අධිකාරයේ මැදිහත්වීම් ගැන විශ්වාසය බිඳ වැටී ඇති නිසාය. 

ජනතාවට කවදත් "කැරට්‌ අල" පෙන්වමින් රවට්‌ටන දේශපාලනඥයින් ගංවතුරේදී "කෙසෙල් ගෙඩිය" ගාණේ බෙදන්නට යැමත් දේශපාලනඥයින්ගේ නම ගම ගැසූ කෑම පැකට්‌ බෙදීමත් අවස්‌ථාවාදයම පමණක්‌ බව තේරුම් ගෙන හමාරය.

ඇත්තම කතාව මේ විපතට පත් ජනතාව තවමත්, හෙට දවසේ සිදුවන්නේ කුමක්‌දැයි බරපතළ අවිනිශ්චිත තත්ත්වයකින් පසුවන බවය. ආපදාවට පත්ව අවතැන්ව කඳවුරු ගතව සිටින ජනතාවට තවමත් වියළි සලාක සහිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සලයක්‌ හැර වෙනත් කිසිවක්‌ ලැබෙන්නේ නැත. 


විපතට පත් ලක්‍ෂ ගණනක්‌ වූ ජනතාව තවමත් පාසල්, පන්සල් ආදී වශයෙන් තැන් තැන්වල දිවි ගෙවති. මැසි මදුරු පීඩාවන්ගේ කෙළවරක්‌ නැත. කුඩා දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අන්දමින් ආරක්‌ෂා කර ගැනීමේ හැකියාවක්‌ නැත. සනීපාරක්‌ෂාව, වැසිකිළි පහසුකම් නැත.

එහෙත්, විපත සිදුවූ මැයි මාසයේ 16-17 දිනවලින් පසු දින හතරක්‌ පහක්‌ ඉක්‌ම යන විට මේ සියලු පහසුකම් ලබාදිය හැකි මට්‌ටමේ විදේශ ආධාර තොග පිටින් අපට ලැබිණ. මූල්‍ය ආධාරද සෑහෙන පමණකට ලැබිණ. 


එපමණක්‌ නොව දේශීයවද රටේ ජනතාව, විවිධ ස්‌වේච්ඡා සංවිධාන මෙරට ප්‍රකට සමාගම් රාජ්‍ය ආයතන, බොහෝමයක්‌ එක්‌ව මූල්‍ය ආධාර සේම, ද්‍රව්‍යමය ආධාරද සෑහෙන ප්‍රමාණයක්‌ සපයාදී තිබිණ. 

එහෙත් මේ කිසිවක්‌ ලැබුණා යෑයි කියන විපතට පත් කිසිවෙකු නැත. දේශීයව විදේශීයව ලැබුණු ආධාර කළමනාකරණය කළ යුත්තේ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයයි. එම මධ්‍යස්‌ථානය භාරව අමාත්‍යාංශයක්‌ද තිබේ. එහෙත් සිදුවන දෙයක්‌ නැත. 

කූඩාරම්, මෙට්‌ට, ඇඳ ඇතිරිලි, සනීපාරක්‌ෂක කට්‌ටල, ජෙනරේටර්, ඖෂධ, ඖෂධ උපකරණ බොහොමයක්‌ (නැව් පිටින්) රටට ලැබී තිබුණත් ඒවා රටේ ජනතාවට ලැබී නැත. 

සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වාර්තා කරන ආකාරයට එවැනි සහනාධාර කිසිවක්‌ එම ආයතනවලට ලැබී නැත. එයින් කියෑවෙන්නේ කොතැනක හෝ වරදක්‌ සිදුව ඇති බවය. 

නොඑසේනම් සිදුවෙමින් පවතින බවය. එම ආධාර "බහිරව පූජාවකට" ගෙන ඇති බවක්‌ පෙනෙන්නට තිබේ. අපට එය වගකීමෙන්ම කියන්නට සිදුවන්නේ පසුගිය කාලයේ ආණ්‌ඩුව මාධ්‍ය සාකච්ඡා තබමින් කී සැළසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ නම්, මෙවැනි වරදක්‌ කොහෙත්ම සිදුවිය නොහැකි නිසාය.
 
Related Posts with Thumbnails