Ads 468x60px

.

"ලොබි බොක්‌සිං" නොව අහන්නට හිරිකිත වචන...


දකුණු ඉන්දියාවේ සිනමාවේ වීරයා පිටතදීත් වීරයෙකි. එපමණක්‌ නොව දේවත්වයෙන්ද පුදති. එහෙත් එළියේදී ඒ නළුවන් කරන වීරකමක්‌ නැත. හින්දි සිනමාවේ වීරයාගේ තත්ත්වයද ඊට සමානය. 

හින්දි සිනමාවේ වීරයාගේ තත්ත්වය දකුණු ඉන්දියාවට වඩා ටිකක්‌ හෝ වෙනස්‌ වන්නේ "සල්මාන් ඛාන්" දුර්ලභ මුවන් මරා දුෂ්ටයකු බවට
පත්වන විටත්, සන්ඡේ දත් ත්‍රස්‌තවාදීන්ට උදව් කර හිරේ ලගින විටත්ය.

ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ය. අපේ රටේ සිනමාවේ වීරයා පිටත සමාජයේදීත් වීරයාමය. ඒ නිසාම නළුවා දේශපාලනඥයකු බවට පරිවර්තනය වීමත් දේශපාලනඥයා නළුවකු වීමත් අපට ඉතාම හුරු පුරුදු කාරණාය.

රන්ජන් රාමනායක තිරයේ "වන්ෂොට්‌" මෙන්ම මේ වන විට තිරයෙන් පිටතද "වන්ෂොට්‌ය." අප එසේ කියන්නේ ඔහු සමග අමනාපයකින් නොවේ. මේ සිනමා වීරයා වීම නිසාම ඔහු දේශපාලන දිවියේදී බොහෝ අකරතැබ්බවලට මුහුණ දෙන නිසාය. 


ඊයේ පුවත්පත් වාර්තා කර තිබූ ප්‍රධාන පුවතක්‌ වූයේ නියෝජ්‍ය ඇමැති රන්ජන් ඇති කරගත් ගැටුමක්‌ය. "රන්ජන්-මහින්දානන්ද "ලොබි බොක්‌සිං" නූලෙන් කට්‌වෙයි" යන්න ඒ ප්‍රවෘත්තියයි.

වාර්තාවී තිබුණු පරිදි නූලෙන් කට්‌වී තිබුණද ප්‍රශ්නය තරමක්‌ දුරදිග යන අන්දමට උණුසුම්ව ඇදී ගොස්‌ තිබුණු බව වාර්තාවේ. මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක යන දෙදෙනාද ඒ බව පිළිගෙන තිබිණි. 


ප්‍රශ්නයට හේතුවී තිබුණේ ඩිෙµන්ඩර් රථයක්‌ ගැන රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා කරන ලද හෙළිදරව්වක්‌ය. කෙසේ හෝ අපට ඇති ප්‍රශ්නය මෙය නොවේ. පාර්ලිමේන්තුව වැනි උත්තරීතර තැනකදී "ප්‍රශ්න" විසගැනීමට ඇති ක්‍රමවේදයන් කප්පරකට තිබියදීත් එය ක්‍රියාදාම චිත්‍රපටයක්‌, "ලොබි බොක්‌සිං" තරගයක්‌ බවට පත්වීමය.

උත්තරීතර යෑයි කියන ආයතනයක්‌ තුළ මෙවැනි අශෝභන හැසිරීම් මෑතක සිට වරින් වර අසන්නට දකින්නට ලැබීමම අවාසනාවකි. අදින් දශක දෙක තුනකට එහා මෙවැනි තත්ත්වයක්‌ දකින්නට ලැබුණේ නැත. 


එකල කවුරුන් හෝ දේශපාලනඥයකු පිළිබඳව කරන හෙළිදරව්ව අවධානයට ලක්‌විය යුතු ආකාරයෙන් සැලකිල්ලෙන් යුතුව ඉදිරිපත් කරන්නට එවක පරිණත දේශපාලනඥයෝ වග බලා ගත්හ. 

එමෙන්ම චෝදනා එල්ලවන දේශපාලනඥයෝ ඊට මුහුණ දුන්නේද ඊට නොදෙවැනි ආකාරයේ හික්‌මීමකින් යුක්‌තවය. වර්තමානය වන විට දකින්නට නැත්තේද එම තත්ත්වයයි. පාර්ලිමේන්තුවේ සිට නාගරික මන්ත්‍රීවරයා දක්‌වාම ආචාර ධර්ම, විනය පිළිබඳව හිතන පතන දේශපාලනඥයන් ඇත්තේ ඉතාම අතළොස්‌සක්‌ බව පෙනෙන්නට තිබේ.

වත්මන් ආණ්‌ඩුව බලයට පත්වන විටත්, පත්වූ පසුත් නිරන්තරයෙන්ම කතා බය කරන ලද වැදගත් කාරණයක්‌ පිළිබඳව අපි නැවත මතක්‌ කර සිටිමු. ඒ එය මේ වන විට අමතකව ඇතැයි සිතෙන නිසාය. 


පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්‍ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආචාරධර්ම පද්ධතියක්‌ හඳුන්වාදී ඒ සඳහා සති දෙකක්‌ ඇතුළත තම අදහස්‌ ලබාදෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම්දී මාස දෙකකට වඩා ගතවී අවසන්ය. 

එහෙත් ඒ සඳහා තවමත් තම අදහස්‌ ලබාදී ඇත්තේ දෙදෙනකු පමණි. අප විශ්වාස කරන පරිදි මේ ආචාරධර්ම පද්ධතිය ඇතුළත් කෙටුම්පත පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයන් 225 දෙනාම කියවිය යුතුය. ඊට අදහස්‌ ලබාදිය යුතුය. 

බොහෝ දේශපාලනඥයන්ට මේ ආචාර ධර්ම පද්ධතියට ඇතුළත් කරන්නට යෑයි කියන්නට තරම් "අදහසක්‌" නැති බව සියයට සියයක්‌ම විශ්වාසය. ඒ අය අඩුම වශයෙන් එම ආචාරධර්ම පද්ධතිය ගෙන එන්නට ක්‍රියාත්මක කරන්නට හෝ සහයෝගය දැක්‌විය යුතුය. 

ජනතා නියෝජිතයන් ලෙස පත්වන බොහෝ දේශපාලනඥයන්ට ආචාර ධර්ම පද්ධතියක්‌ ගැන අවබෝධයක්‌ නැතුවා සේම ඒ අය පත්කර යවන ජනතාවටද ඒ ගැන හරි අවබෝධයක්‌ නැති බව පෙනේ. 

ඒ ගැන රට දැන ගත යුත්තේ ඒ නිසාය. "ලොබි බොක්‌සිං" නොව අහන්නට හිරිකිත වචන පවා පාර්ලිමේන්තුවෙන් තුරන් වීමට එය යම් පමණක දායකත්වයක්‌ හෝ ලබාදෙන බව අපි විශ්වාස කරමු.
 
Related Posts with Thumbnails